Monday, October 10, 2011

අඳුරට ශාප කරමින් නොසිට එක් පහනක් දල්වමු... It is better by far to light a solitary candle , than to curse the darkness ...



හුඟාක් කාලෙකට පස්සෙ ගිය සිකුරාද මෙහේ සිටින ශ්‍රී ලාංකිකයින්ගෙ එකමුතුවකට සහභාගි වෙන්න ලැබුණ... මගේ රැකියාවෙ ස්වභාවය නිසා මට ඒ වගේ දේවල් වලට සහභාගි වෙන්න ලැබෙන්නෙ හරි අඩුවෙන්... මොකද මෙහේ අනෙකුත් රැකියාවන් කරන හැමෝටම වගේ සති අන්තය නිවාඩු... ඉතින් ඒ අය ඔය වගේ එකමුතු වෙලා කරන වැඩ දාගන්නෙ සති අන්තෙට... වෙළෙන්දෙක් වෙච්ච මට ඉතින් හැමෝටම නිවාඩු සති අන්තය තමා සතියෙ ඉතාම කාර්යබහුල දවස් දෙක,.. ඇයි හැමෝම නිවාඩු නිසා ෂොපිං එනවනෙවැ...

ඒත් කාලයක් තිස්සෙ මුණගැහෙන්න බලාගෙන හිටපු දුමීවත් , ජෝජ් අයිය ඇතුළු " අපේ කට්ටියෙ " අයවත් මුණගැහෙන්න ලැබෙන අවස්ථාවක් තියෙනව කියල දුකා කියපුවහම, පොඩි දහං ගැටයක් ගහල කලින් පැනල ගෙදර ආව... ඇවිත් දුකා ගෙ සාදර අනුග්‍රහෙයෙන් ප්‍රවාහන පහසුකමුත් සලසගෙන ගිහින් ( අලුත් කාර් එකකින් ඇවිත් මට කාර් එක අඳුරගන්න බැරි වෙලා පොඩි කේස් එකකුත් වුණා )... කාලෙකින් ගතකරපු වටිනාම හැන්දෑව ගතකරන්න ලැබුණ...

මේ පෝස්ට් එක ලියන්න හේතුව වුණේ අන්න එතනදි අහන්න ලැබුණ වටිනා අදහස් ගොඩක් සරලව ඉදිරිපත් වුණ කතාවක්... කතාව පැවැත්වුවෙ CandleAid Lanka කියන සුබසාධන සංවිධානය බිහිකරල එහි සභාපතිත්වය දරමින් මෙහෙයවන කැප්ටන් එල්මෝ ජයවර්ධන කියල මහත්මයෙක්... ලංකාවෙන් බිහිවෙච්ච විශිෂ්ටතම ගුවන් නියමුවෙක්... (පෝස්ට් එකේ මෙතනින් එහාට ඒ මහත්මයව හඳුන්වන්නෙ කැප්ටන් කියල.. )

කැප්ටන්ගෙ කතාවෙන් එයා උත්සාහ කලේ.. සෑම මනුස්සයෙකුටම තමන් මොන තත්වයක හිටියත් තවත් මනුස්සයෙකුට යම් උදව්වක් කරන්නට අවස්තාවක් ඇති බව තේරුම් කරල දෙන්නත්... එහෙම කරන එක යුතුකමක් නේද කියල මතක් කරලදෙන්නත්...

කැප්ටන් CandleAid කියන සංවිධානය ඇතිකරල තියෙන්නෙත් ඒක පවත්වාගෙන යන්නේත් ඒ අදහසින්... තමන්ට පුලුවන් විදිහට ලංකාවෙ දුප්පත්කම නිසා මූලික අධ්‍යාපනය අහිමෙවෙන දරුවන්ට... නැත්නම උසස් අධ්‍යාපනය සම්පූර්ණ කරගන්න බැරි තරුණ දරුවෙකුට ඒ අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කරගන්න පුංචි හරි උදව්වක් වෙන්න කැමති අයට ඒ සඳහා ඉතාම හොඳ channel එකක් හැටියට මට හිතෙන හැටියට මේ සංවිධානය හඳුන්වන්න පුලුවන්...

අපි හුඟ දෙනෙක් උදව් කරන්න කැමතියි... ඒත් අපිට කරන්න පුළුවන් දේ පොඩියි කියල කිසිවක් නොකර ඉන්නව... ඒත් කැප්ටන් මතක් කරල දුන්නෙ අපිට කරන්න පුලුවන් ඉතාම පොඩි දෙයක් වුණත් කරන එක කොයි තරම් වටිනවද කිඅය එකයි...

ඒක පැහැදිලි කරන්න කැප්ටන් ඒ සංවිධානය හරහා ලැබුණු උපකාර වලින් තමන්ගෙ ජීවිතය ජයගත් තරුණයෙකුගෙ කතාවක් අපිට කිව්ව...

කතාව මේකයි...

එක දරුවෙක් ඉන්නව... අපි තිලක කියල කියමු... ඔහුගෙ ඉනෙන් පහල කොටස සම්පූර්ණ්යෙන්ම ආබාධිතයි... ඉතාම දුප්පත් අම්ම හුඟාක් මහන්සි වෙනව මේ දරුවට යම් කිසි අධ්‍යාපනයක් ලබා දෙන්න...

ඒත් ඔහුට ඇවිදින්න බෑ... පාසැලට ඔසවාගෙන යන්න ඕනෙ... කිසි කෙනෙක් උනන්දුවක් නෑ ඔහුට උගන්වන්න... ඉතාම දුක්බර තත්වයක් යටතෙ තමයි ඔවුන් ජිවත් වෙලා තියෙන්නෙ...වයස අවුරුදු දහයක් වෙනකම් ඔහු පාසැල් ගිහිල්ලම නෑ...

ඒත් අම්ම මේ දරුවව ඉස්කෝලෙ යවන එක අත ඇරල නෑ...
ඒ දයාබර අම්ම දවසක් මහ වැස්සෙ කුඩයක් වත් නැතුව මේ දරුවවත් ඉටිරෙද්දකින් පෙරවගෙන ඉස්කෝලෙට උස්සගෙන ගියහම ගුරුවරයෙක් මොකක්ද කියල තියෙන්නෙ ... "මේ අබ්බගාතයට උගන්වන්න මේ හැටි මොකට මහන්සි වෙනවද ? " ...

ඒත් ඒ අම්මට ඕන වෙලා තියෙනව "කොහොමහරි මේකට නම ලියන හැටි උගන්වගන්න " ...

එහෙම තත්වයක් තියෙද්දි කැප්ටන්ට මේ ගැන දැනගන්න ලැබිල තීරණය කරල තියෙනව මේ සංවිධානය හරහා ඔහුගෙ අධ්‍යාපනයට උදව් කරන්න... ඔවුන් පටන් ගන්නව... තිලක හොඳින් ඉගෙන ගන්නව... අට්ටාලයක් වගේ ආධාරකයක් ඇතුව තිලක ඇවිදින්න ගන්නව...

මෙන්න මේ අතරෙදි... "තමන් මොන තත්වයක හිටියත්.. තව කෙනෙකුට උදව්වක් කරන්න උවමනානම් පුළුවන්" කියන එකට හොඳ උදාහරණයක් අපිට තිලක දෙනව...

ඔහු දවසක් කැප්ටන්ට ඇවිත් කියනව... "කැප්ටන් මගෙ තව ආබාධිත යාලුවෙක් ඉන්නව ඔහුටත් උදව් කරන්න ප්ළුවන්ද..?" ...

කැප්ටන් කියනව "ඔව් අපි උදව් කරමු... මොකක්ද ඔහුගෙ ආබාධය..?"

"ඔහුගෙ අත් දෙකම නෑ..!"

"ඔහු මොකක් කරන්නද කැමති..."

"ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් වෙන්න...!!!"

....ඇත්තටම ඔහුටත් මේ සංවිධානය හරහා උදව් ලැබෙනව...


එක් දවසක සිදුවුණ ඉතාම සංවේදී සිද්දියක් අපට කැප්ටන් කිව්ව...

දවසක් තිලක ත් අර යහලුවත් ඇවිත් තියෙනව කැපටන්ගෙ ගෙදර... එයාලට තේ දෙන්න කියල කැපටන් උඩ තට්ටුවට ගිහින් තියෙනව ටිකකට... සුලු වෙලාවකින් කැප්ටන්ගෙ බිරිඳ දරාගන්න බැරි දුකකින් හඬාගෙන උඩට දුවගෙන ඇවිත් තියෙනව... කැප්ටන් එකවරම පහලට ගිහින් බැලනකොට...

කකුල් දෙකම පණ නැති තිලක අර අත්වාරුවෙ උදව්වෙන් ඇවිදගෙන ගිහින් අත් දෙකම නැති යාලුවට තේ එක පොවනව.............

අපි කී දෙනෙකුට ඒ වගේ හදවතක් තියෙනවද....

....

කතාව ටිකක් කෙටි කරන්නම්...

අද...

එදා අර අම්ම වැස්සෙ ඉටිරෙද්දකින් මුවාකරගෙන "නම ලියන්න උගන්නගන්න" එක්ක ගිය.. වයස දහය වෙන තුරු පාසැල් නොගිය ආබාධිත දරුවා .. තිලක... ලංකාවෙදි ඉතාම හොඳින් ඉගෙනෙගෙන.. විශ්ව විද්‍යාලෙදිත් ඉතා ඉහලින් පංති සාමාර්ථ ඇතුව සමත් වෙලා .. සිංගප්පූරුවෙ විශ්ව විද්‍යාලයකින් ප්ශ්චාත් උපාධි අධ්‍යාපනය සම්පූර්ණ කරපු... ආචාර්ය උපාධිධාරී ඉන්ජිනේරුවෙක්...

ඔහුගෙ අත් දෙකම නැති ... කකුලෙ ඇඟිලි වලින් පරිගණක යතුරු පුවරුව හසුරුවන යහලුවා... අද ලංකාවෙ ප්‍රසිද්ධ පුද්ගලික රූපවාහිනී නාලිකාවක ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් හැටියට වැඩ කරනව...

දිරිය මිනිසුනි ... අතපය හතරම ඉතා හොඳින් තිබියදීත් ජීවිතය ජයගන්නට කිසි උත්සාහයක් නොගෙන අඳුරට ශාප කරමින් ඉන්නා මිනිසුන් අතර ඔබ දෙදෙනා අපට ආඩම්බරයකි...!!!

....................

"අපේ කට්ටියෙ" ජෝජ් අයිය මෙතෙන්දි ඉතාම වටිනා ප්‍රායෝගික අදහසක් දුන්න...

මේ වගේ එක් දරුවෙක් වෙනුවෙන් අවුරුද්දක පාසැල් අධ්‍යාපනයට උදව කරන්න අවශ්‍ය වෙන්නෙ දිරාම් 360 ක වගෙ මුදලක්.. ඒ කියන්නෙ මාසෙකට 30 ක්... දවසකට දිරාම් 1 ක්... මම එවෙලෙම ඒක හිතට ගත්ත... අපි කොයි තරම් මීට වඩා නාස්ති කරනවද...( සිගරට් පැකට් එකක් දිරාම් 8 ක් )...මේ වගේ දෙයක් කොයි තරම් පහසුවෙන් කරන්න පුළුවන්ද...

......................

ප.ලි

මේ වගේ වටිනා අදහසක් ගැන අහන්නට ඒ ගැන නැවත සිතන්නට මෙවැනි අවස්ථාවක් සංවිධානය කල ජෝජ් අයියා ඇතුලු "අපේ කට්ටිය" ටත්... මාව ඒ අවස්ථාවට සහභාගී කරවාගැනීම ගැන දුකා ටත් අවංක ස්තුතිය...

......................

ඊට ප.ලි
යම් කෙනෙකුට CandleAid ගැන වැඩිවිස්තර දැන ගැනීමට අවශ්‍යනම් ඔවුන්ගේ වෙබ් අඩවිය මෙන්න.

CandleAid Lanka

පින්තූරය ගත්තෙත් එතනින්..