
පළවෙනි කතාව කොළඹින් පටන් ගන්න ඕනි කියල හිතුව.මොකද ඉස්කෝලෙ යද්දිත් ,ඉස්කෝලෙන් අයින් වෙලත් ඉස්සෙල්ලම මිනිසුන් අතරට යන්න ලැබුණෙ කොළඹ නගරයෙදි හින්ද.
මට පහුගිය අවුරුදු දහතුනක කාලෙට රස්සාවල් කරන්න ලැබුණු කොම්පැනි වලට පින් සිද්දවෙන්න හරි ප්රයෝජනවත් ඒ වගෙම practical( එහෙම කියන්නෙ මෙලෝ රහක් නැති power point presentations වලට විතරක් සීමා වෙච්ච ඒවත් තියෙන නිසා ) management training sessions සෑහෙන ප්රමානෙකට සහභාගි වෙන්න ලැබිල තියනව.
පහුගිය දශක දෙකක විතර කාලෙ ලොකෙ පුරාම ඔය වගෙ trainings වල පට්ට ගහපු තියරි එකක් තමයි ඔය සමුහයෙන් වෙනස්ව සිතීම ( thinking out of the box ) කියන එක.( දැන්නම් ඕක ගැන එච්චර කතා කරන්නෙ නෑ, ඇත්තටම මේ recession එක වෙලාවෙදි සමහරු ඕක අංශක 180 කින් ආපස්සට හරවල "think back in the box" කියලත් තියරි එකක් ගෙනාවා ).
කොහොම හරි ඔය වෙනස්ව සිතීම කියන එක හරිම වැදගත් ( වැදගත් කියන වචනෙ හරිද මන්ද, මට කියන්න ඕන important කියන එක ) දෙයක්, මොකද මෙ ලෝකෙ අද තියන තත්වෙට ගෙනල්ල තියෙන්නෙ ( හොඳට හරි නරකට හරි ) සමුහයෙන් වෙනස්ව හිතපු මිනිස්සු.
මගෙ කතාව ඕක නෙමේ.. කතාව මේකයි...
ඔය මොන training එකකටවත් යන්න කලින් අපි A/L කරන කාලෙ මට "thinking differently" ගැන මං ජීවිතේට අහපු හොඳම සරලම විග්රහය අහහන්න ලැබුණ.management guru කෙනෙක්ගෙන් නෙමෙයි, පාර අයිනෙ ඉන්න පාදඩයෙකුගෙන්..
ඔය කාලෙ අපි නිතරම කොළඹ public library එකට යනව පාඩම් කරන්න කියල. ( කරපු පාඩම් ගැන වෙනම ලියන්න ඕනෙ පස්සෙ ). ඉතින් දවල් කෑම වෙලාවට ඔය කොල්ලුපිටියෙ පැත්තෙ හෙම ඇවිදින්න යනව.ඒ යන වෙලාවට අපිට නිතරම හම්බවෙන පාදඩයෙක් හිටිය. මිනිහ ඉන්නෙ කොල්ලුපිටියෙ හන්දියයි ,එතකොට තිබුණ මට මතක හැටියට carlton කියල ක්ලබ් එකක් ( අර Joel Prera කියල Papua New Guinea වලින් ආපු rugby coach කෙනෙක්ව වෙඩි තියල මැරුවෙ )( දැන්නම් ඔය ක්ලබ් එක නෑ මගෙ හිතේ ) එකයි අතරෙ රට පැත්තට පාර අයීනෙ තාප්ප කොටයක් උඩ වාඩි වෙල.මිනිහ හිඟන්නෙක් නෙමේ.කවදාවත් කගෙන්වත් සල්ලි ඉල්ලනව මම දැකල නෑ, ඒත් මිනිස්සු කීය කීය හරි දෙනව මම දැකල තියනව, එ කාලෙ අපිටනම් ඌට දෙන්න තියා ෆිල්ම් එකක් බලන්නවත් සල්ලි නෑ.ඒත් අපිත් ඉඳල හිටල ඔය කඩල පැකට් එකක් සිගරට් එකක් ( දැන් අහන්න එපා ඉස්කෝලෙ යන කාලෙ සිගරට් කොයින්ද කියල ) වගෙ දෙයක් දෙනව.පොර මම හිතන්නෙ ජීවිතේට නාල නැතුව ඇති ,Mob Marley වගේ ඉන්නෙ. ඉතින් ඒ කාලෙ මමත් ටිකක් නාන්න හොරයි( නෑ නෑ .. දැන් නම් එහෙම් නෑ ) ඉතින් අපේ සෙට් එක ඔතනින් යනකොට මට කිණ්ඩිය දානව ඒ අන්න සපතේරු උන්නැහෙගෙ අයිය ඉන්නව කියල. ඉතින් අපෙ එවුන් වඳුරො ටික වගේ හිනා වෙනව.අර පොර දන්නෙ නෑ මුන් නෝණ්ඩිය දාන්නෙ මට කියල..
දවසක් ඔහොම හිනා වෙවී ඔතනින් පාස් වෙද්දි පොර අපිට අත වනල කතා කළා... කරල හොඳ පැහදිලි ඉංගිරිසියෙන් සුද්දගෙ උච්චාරණෙන් පොර කියපි ....
" You buggers are laughing at me because I am different, I am laughing at you because you bloody all are the same "
..කියල, ( "උඹල මට හිනාවෙනව මම උඹලට වඩා වෙනස් නිසා, ඒත් මම උඹලට හිනාවෙනව උඹල සේරොම එක වගේ නිසා" ).
මට නිකම්ම මාරුවෙන් මාරුවට අපෙ සෙට් එකේ එක එකා දිහා බැලුන...