Wednesday, September 14, 2011

ඇයි සුද්දන්ට ටැපලෙන්නෙ නැද්ද...?

"මේ දිනවල මගේ බ්ලොග් සටහනට යටින් Advert එකක් ප්‍රදර්ශණය වීමක් සිදුවේ... මෙය මගේ සම්බන්ධයක් ඇතුව සිදුවන්නක් නොවන වග කියවන ඔබ හැමට දැනුම් දෙමි... මට මෙය නිවැරදි කර ගැනීමට දැනුමක් නැති අතර හැකි ඉක්මනින් හිතවතුන්ගේ උපදෙස් ලැබ මෙය නිවැරදි කර ගැනීමට උත්සාහ කරමි...
- සපතේරු "





තවදුරටත් මුකුත් ලියන්නෙ නැතුව හිටියොත් මේ අමාරුවෙන් පටන් ගත්තු බ්ලොග් කටුව ආසානාසි වීලා යයි කියල හිතෙන නිසා පෝස්ට් එකක් ලියන්න පටන් ගත්ත... ඒත් ඒක ඉවර කරන්න කලින්.. ඊයෙ සිද්ධවෙච්ච දෙයක් නිසා පොඩි ආගිය කතාවක් ඉස්සෙල්ල ලියල දාන්න හිතුව...මේක බොහොම පොඩි සිද්ධියක්...

ඒත් සිද්ධිය කිය්න්න කලින් පැහැදිලි කරන්න පොඩි දෙයක් තියෙනව... මොකද මාතෘකාව දැක්කහම වැරදි අදහසක් ඇතිවෙන්න පුළුවන් නිසා... ඒ තමයි මම කිසිම අන්දමකින් ජාතිවාදී අදහස් ඇති කෙනෙක් නොවන වග... මම ශ්‍රී ලාංකිකයෙක් වීම ගැන ආඩම්බර වන අතර අනිකුත් සියල්ලන්ටම ඒසේ ඔවුන්ගේ ජාතිය ගැන ආඩම්බර වීමට ඇති ඇයිතිය හිස් මුදුනින් පිළිගන්න බව කියන්න ඕනෙ...

ඒක නිසා කිසිවෙක් සුද්දෙක් වුණා කිය මගේ කිසිම වෙනසක් නැති බවත්, පල් වැඩ කරන සුද්දන් වගේම පල් වැඩ කරන ලාංකිකයිනුත් රජ වැඩ කරන සුද්දන් වගේම රජ වැඩ කරන ලාංකිකයිනුත් ඇති බවත් ඔවුන් කරන් වැඩ අනුව පල් සුද්දෙක් හෝ පල් ලාංකිකයෙක් හැටියට සලකන බවත් කියන්නම ඕනෙ.

මෙච්චර ලිව්වෙ එක්සත් ජාතීන්ගේ සංවිධානය වගේ ( විවිධ ජාතීන්ට අයත් යන අර්ථයෙන් ) ටීම් එකක් එක්ක වැඩකරන මං ගැන අනේ වැරදි අදහසක් ඇතිකරගන්න එක අපරාදෙනෙ කියල..

මම මේක සඳරුගෙ කොමෙන්ටුවකත් කිව්ව .... මගෙ ටීම් එකේ ළමයි විසිපහයි ඉන්නෙ...හැබැයි.... ශ්‍රී ලාංකික , උතුරු ඉන්දියානු , මලයාලි , නේපාලි , භූතානි , කෙන්යානු , ඊජිප්තු , පිලිපීන , මියන්මාර ( බුරුම ) සහ පිරිසිදු කරන සහායක බංගලි.... ඔක්කොම ඉන්නව .... කොහොමද......

එකම ජාතියෙ, බොහෝ විට එකම ආගමේ පොඩි කණ්ඩායමක් එක්ක ලංකාවෙ අපි වැඩකරන්න ගියාම තියෙන රඟේ දන්න කෙනෙකුට හිතාගන්න පුලුවන් ඇති මම මොකක්ද කියන්නෙ කියල... මම මේ ඔක්කොම කියන්නෙ ඒ වගේ ටීම් එකක් සමගියෙන් තියාගෙන... කොඳු කැඩෙන අලෙවි ඉලක්ක ( ගිය මාසෙ ඔය කට්ටිය එකතුවෙලා සපත්තු කුට්ටම් 17,000ක් ! විකිණුව ) ළඟා කරගන්න යොමු කරවන්න බෑ ; මම ඇත්තටම හැමෝම ගැන එකවගේ හිතන්නෙ නැත්නම්...

මෙන්න කතාව...


ඒ ගමන තව පොඩි විස්තරයක් කියන්න වෙනව... ඩුබායි මෙට්‍රෝ දුම්රිය ගැන.. ඩුබායි මෙට්‍රෝ දුම්රියත් ( වචනාර්ථයෙන් දුම්රිය කිව්වට රෝද වල ඇති මෝටර වලට රේල් පීලි දිගේ ලැබෙන විදුලියෙන් ක්‍රියාකරන කිසිම දුමක් නැති විදුලි කෝච්චියකි ) අනිත් ඕනෑම මෙට්‍රෝ දුම්රියක් වගේ... නගරෙ වාහන තදබදය අඩු කරන්න පොළොව උඩින් සහ යටින් සාදා ඇති මාර්ග වල දුවන ළඟ ළඟ නැවතුම්පොලවල් ඇති දුම්රිය සේවයක්... ලංකාවෙ හරි ඉන්දියාවෙ හරි විතරක් දුම්රියේ ගිහින් තියෙන කෙනෙකුට පිළිගන්න බැරි තරම් ඇතුළත,ආසන ආදිය පිරිසිදුයි...හැබැයි චුයින්ගම් එකක් වත් හැපුවොත් දඩ... එහෙමයි ඒ පිරිසිදුකම ආරක්ෂා කරගෙන තියෙන්නෙ...

කලින් කිව්ව වගේ කෙටි ගමන් වලට බොහෝ දෙනෙක් පාවිච්චි කරන් නිසා ආසන හුඟාක් සුවපහසු නෑ... අවශ්‍යම කෙනෙකුට යන්න එක පෙට්ටියක් විතර තියෙනව gold class කියල හොඳ සුවපහසු ආසන සහිත... නමුත් ඒකෙ ගමන් ගාස්තුව සාමාන්‍ය පන්තියෙ වගේ තුන් ගුණයක් විතර වෙනව...

තව පොඩි දෙයක්.. ගමන් ගාස්තුව ගෙවන්නෙ කලින් ලබාගත් ඉලෙක්ට්‍රොනික් කාඩ්පතකින්... මෙහේ සාමාන්‍ය පන්තියට අළු පාට කාඩ් පතකුත් gold class එකට රන්වන් කාඩ් පතකුත් විදිහට කාඩ් පත් වර්ග දෙකක් තියෙනව...

ඔය උඩ පින්තූරෙ තියෙන්නෙ ඒ කාඩ් තමා... අනිත් නිල් පාට කාඩ් එක වැඩිහිටි පුරවැසියන්ටත් ශිෂ්‍යයින්ටත් ලබාදෙන අඩු ගාස්තු අයවෙන එකක්, රතු පාට කාඩ් එක අපි ලංකාවෙදි කෝච්චි ටිකට් ගන්නව වගේ එක ගමනකට ගන්න කඩදාසි කාඩ් එකක්...

ඒ වගේම මෙහේ මෙට්‍රෝ දුම්රිය සේවය විතරක් නෙමෙයි බස් ගමනාගමනයත් පාලනය වෙන්නෙ එකම ආයතනයකින් නිසා ඔය කාඩ්පත බස් එකටත් පාව්ච්චි කල හැකියි..

මමත් නිතරම පාවිච්චි කරන්නෙ අළුපාට කාඩ්පතක් ... සාමාන්‍ය ගමන් බිමන් වලට ඉතාම ලාභ පහසු ක්‍රමය නිසා... හිටගෙන යන්න වුනත් විනාඩි 10 ක 15 ක ගමන් නිසා අපහසුවක් නැහැ... ඒත් ටික දුරක් යන්න වෙන ඒ වගේම ගමනෙන් පසු වැදගත් රැස්වීමකට සහභාගි වෙන්න තියෙන වගේ වෙලාවක වෙහෙසකර මුහුණකින් යුතුව යන්න කැමති නැති නිසා ඒ වගේ ගමන් වලදි gold class එකේ යන්න පාවිච්චි කරන gold card එකකුත් නිතර මගෙ සාක්කුවෙ තියෙනව...

.....ඊයේ ඒ වගේ ගමනක් යන්න ඕන වෙලා මම gold card එක tag කරල gold class එකට ගොඩ වුනා...

මේ මෙට්‍රෝ කෝච්චියට රියදුරෙක් නැහැ... පරිඝණක ගත කරපු මධ්‍යගත පාලනයක් තියෙන්නෙ... ඒත් කොන්දොස්තරල කියන්න පුළුවන් නිලධාරි දෙතුන් දෙනෙක් ඉන්නව.. එයාල තමා මගීන් හසුරවන්නෙ..

සාමාන්‍ය ගාස්තු වලට වඩා තුන් ගුණයක් විතර ගනන් නිසා ඒ පෙට්ටියෙ වැඩිපුර සෙනග නෑ කොයි වෙලාවකවත්... එවෙලෙත් නැග්ගෙ තුන් හතර දෙනයි... මට පස්සෙ නැග්ග තඩි සුද්දෙක්... ( ඕස්ට්‍රේලියන් විය හැකියි ) ... දැන් සුද්ද ඉස්සරහම ආසනයක.. ඊලඟට මම... අර කලින් කියපු කොන්දොස්තරලගෙ සිරිතක් තියෙනව gold class එකේ ඉන්න අයගෙ කාඩ් බලනව ඇත්තටම gold card ද කියල... දඩ ගහන්න නෙමෙයි... හරි පෙට්ටියට යවන්න.... ( චෙකර්ල වෙනම ඉන්නව දඩ ගහන්න )...

එවෙලෙ හිටියෙ මලයාලි හරි අපේ කෙනෙක් හරි ( සිංහල නම් නෙමෙයි ) කියල හිතන්න පුලුවන් කොන්දොස්තර කෙනෙක්.... මිනිහ අර සුද්දව පහුකරගෙන මගෙ ළඟට ඇවිත් අහනව මගේ කාඩ් එක gold card එකක්ද කියල... සුද්දගෙන් ඇහුවෙ නෑ... මිනිහ හිතන්න ඇති සුද්දෙකුට පැටලෙන්න විදිහක් නෑ කියල... මටත් දැන් මේක නිකන් අපහාසයක් වගේ... ඇයි යකෝ මට ඉස්සරහ සීට් එකේ ඉන්න එකාගෙන් අහන්නැතුව.. ඌව පහුකරගෙන ඇවිල්ල මගෙන්ම අහන්නෙ..? මමත් කතාවක් නැතුවම සාක්කුවෙ තිබ්බ කාඩ් එක එලියට අරන් පෙන්නල ආයි සාක්කුවට දාගත්ත...

මම කාඩ් එක පෙන්නුවහම කොන්දොස්තර තැන යන්න හැරුන...

එතකොට සුද්ද අලු පාට regular card එකක් එලියට අරන් පෙන්නල කොන්දොස්තරගෙන් අහනව " I've got this card... am I sitting in wrong class..? ( මගේ ළඟ තියෙන්නෙ මේ කාඩ් එක... මම ඉන්නෙ වැරදි පෙට්ටියෙද... ?) " කියල ...

අනේ අර කොන්දොස්තර අර සුද්දවත් දක්කගෙන අනිත් පෙට්ටියට ගියා...

සුද්දන්න්ට වැරදෙන්නෙ නෑ ය... උගේ වගේ කලු හම තියෙන මට වැරදිලා gold class එකේ වාඩිවෙලා ඉන්නෙය කියල හිතපු ඒ කොන්දොස්තරට එවෙලෙ මම දාපු සාකැස්ටික් හිනාව බලාගන්න කණ්නාඩියක් තිබුනෙ නෑ නොවැ...

-------------------------------------------------------------------