හුඟාක් කාලෙකට පස්සෙ ගිය සිකුරාද මෙහේ සිටින ශ්‍රී ලාංකිකයින්ගෙ එකමුතුවකට සහභාගි වෙන්න ලැබුණ... මගේ රැකියාවෙ ස්වභාවය නිසා මට ඒ වගේ දේවල් වලට සහභාගි වෙන්න ලැබෙන්නෙ හරි අඩුවෙන්... මොකද මෙහේ අනෙකුත් රැකියාවන් කරන හැමෝටම වගේ සති අන්තය නිවාඩු... ඉතින් ඒ අය ඔය වගේ එකමුතු වෙලා කරන වැඩ දාගන්නෙ සති අන්තෙට... වෙළෙන්දෙක් වෙච්ච මට ඉතින් හැමෝටම නිවාඩු සති අන්තය තමා සතියෙ ඉතාම කාර්යබහුල දවස් දෙක,.. ඇයි හැමෝම නිවාඩු නිසා ෂොපිං එනවනෙවැ...
ඒත් කාලයක් තිස්සෙ මුණගැහෙන්න බලාගෙන හිටපු දුමීවත් , ජෝජ් අයිය ඇතුළු " අපේ කට්ටියෙ " අයවත් මුණගැහෙන්න ලැබෙන අවස්ථාවක් තියෙනව කියල දුකා කියපුවහම, පොඩි දහං ගැටයක් ගහල කලින් පැනල ගෙදර ආව... ඇවිත් දුකා ගෙ සාදර අනුග්‍රහෙයෙන් ප්‍රවාහන පහසුකමුත් සලසගෙන ගිහින් ( අලුත් කාර් එකකින් ඇවිත් මට කාර් එක අඳුරගන්න බැරි වෙලා පොඩි කේස් එකකුත් වුණා )... කාලෙකින් ගතකරපු වටිනාම හැන්දෑව ගතකරන්න ලැබුණ...
මේ පෝස්ට් එක ලියන්න හේතුව වුණේ අන්න එතනදි අහන්න ලැබුණ වටිනා අදහස් ගොඩක් සරලව ඉදිරිපත් වුණ කතාවක්... කතාව පැවැත්වුවෙ CandleAid Lanka කියන සුබසාධන සංවිධානය බිහිකරල එහි සභාපතිත්වය දරමින් මෙහෙයවන කැප්ටන් එල්මෝ ජයවර්ධන කියල මහත්මයෙක්... ලංකාවෙන් බිහිවෙච්ච විශිෂ්ටතම ගුවන් නියමුවෙක්... (පෝස්ට් එකේ මෙතනින් එහාට ඒ මහත්මයව හඳුන්වන්නෙ කැප්ටන් කියල.. )
කැප්ටන්ගෙ කතාවෙන් එයා උත්සාහ කලේ.. සෑම මනුස්සයෙකුටම තමන් මොන තත්වයක හිටියත් තවත් මනුස්සයෙකුට යම් උදව්වක් කරන්නට අවස්තාවක් ඇති බව තේරුම් කරල දෙන්නත්... එහෙම කරන එක යුතුකමක් නේද කියල මතක් කරලදෙන්නත්...
කැප්ටන් CandleAid කියන සංවිධානය ඇතිකරල තියෙන්නෙත් ඒක පවත්වාගෙන යන්නේත් ඒ අදහසින්... තමන්ට පුලුවන් විදිහට ලංකාවෙ දුප්පත්කම නිසා මූලික අධ්‍යාපනය අහිමෙවෙන දරුවන්ට... නැත්නම උසස් අධ්‍යාපනය සම්පූර්ණ කරගන්න බැරි තරුණ දරුවෙකුට ඒ අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කරගන්න පුංචි හරි උදව්වක් වෙන්න කැමති අයට ඒ සඳහා ඉතාම හොඳ channel එකක් හැටියට මට හිතෙන හැටියට මේ සංවිධානය හඳුන්වන්න පුලුවන්...
අපි හුඟ දෙනෙක් උදව් කරන්න කැමතියි... ඒත් අපිට කරන්න පුළුවන් දේ පොඩියි කියල කිසිවක් නොකර ඉන්නව... ඒත් කැප්ටන් මතක් කරල දුන්නෙ අපිට කරන්න පුලුවන් ඉතාම පොඩි දෙයක් වුණත් කරන එක කොයි තරම් වටිනවද කිඅය එකයි...
ඒක පැහැදිලි කරන්න කැප්ටන් ඒ සංවිධානය හරහා ලැබුණු උපකාර වලින් තමන්ගෙ ජීවිතය ජයගත් තරුණයෙකුගෙ කතාවක් අපිට කිව්ව...
කතාව මේකයි...
එක දරුවෙක් ඉන්නව... අපි තිලක කියල කියමු... ඔහුගෙ ඉනෙන් පහල කොටස සම්පූර්ණ්යෙන්ම ආබාධිතයි... ඉතාම දුප්පත් අම්ම හුඟාක් මහන්සි වෙනව මේ දරුවට යම් කිසි අධ්‍යාපනයක් ලබා දෙන්න...
ඒත් ඔහුට ඇවිදින්න බෑ... පාසැලට ඔසවාගෙන යන්න ඕනෙ... කිසි කෙනෙක් උනන්දුවක් නෑ ඔහුට උගන්වන්න... ඉතාම දුක්බර තත්වයක් යටතෙ තමයි ඔවුන් ජිවත් වෙලා තියෙන්නෙ...වයස අවුරුදු දහයක් වෙනකම් ඔහු පාසැල් ගිහිල්ලම නෑ...
ඒත් අම්ම මේ දරුවව ඉස්කෝලෙ යවන එක අත ඇරල නෑ...
ඒ දයාබර අම්ම දවසක් මහ වැස්සෙ කුඩයක් වත් නැතුව මේ දරුවවත් ඉටිරෙද්දකින් පෙරවගෙන ඉස්කෝලෙට උස්සගෙන ගියහම ගුරුවරයෙක් මොකක්ද කියල තියෙන්නෙ ... "මේ අබ්බගාතයට උගන්වන්න මේ හැටි මොකට මහන්සි වෙනවද ? " ...
ඒත් ඒ අම්මට ඕන වෙලා තියෙනව "කොහොමහරි මේකට නම ලියන හැටි උගන්වගන්න " ...
එහෙම තත්වයක් තියෙද්දි කැප්ටන්ට මේ ගැන දැනගන්න ලැබිල තීරණය කරල තියෙනව මේ සංවිධානය හරහා ඔහුගෙ අධ්‍යාපනයට උදව් කරන්න... ඔවුන් පටන් ගන්නව... තිලක හොඳින් ඉගෙන ගන්නව... අට්ටාලයක් වගේ ආධාරකයක් ඇතුව තිලක ඇවිදින්න ගන්නව...
මෙන්න මේ අතරෙදි... "තමන් මොන තත්වයක හිටියත්.. තව කෙනෙකුට උදව්වක් කරන්න උවමනානම් පුළුවන්" කියන එකට හොඳ උදාහරණයක් අපිට තිලක දෙනව...
ඔහු දවසක් කැප්ටන්ට ඇවිත් කියනව... "කැප්ටන් මගෙ තව ආබාධිත යාලුවෙක් ඉන්නව ඔහුටත් උදව් කරන්න ප්ළුවන්ද..?" ...
කැප්ටන් කියනව "ඔව් අපි උදව් කරමු... මොකක්ද ඔහුගෙ ආබාධය..?"
"ඔහුගෙ අත් දෙකම නෑ..!"
"ඔහු මොකක් කරන්නද කැමති..."
"ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් වෙන්න...!!!"
....ඇත්තටම ඔහුටත් මේ සංවිධානය හරහා උදව් ලැබෙනව...
එක් දවසක සිදුවුණ ඉතාම සංවේදී සිද්දියක් අපට කැප්ටන් කිව්ව...
දවසක් තිලක ත් අර යහලුවත් ඇවිත් තියෙනව කැපටන්ගෙ ගෙදර... එයාලට තේ දෙන්න කියල කැපටන් උඩ තට්ටුවට ගිහින් තියෙනව ටිකකට... සුලු වෙලාවකින් කැප්ටන්ගෙ බිරිඳ දරාගන්න බැරි දුකකින් හඬාගෙන උඩට දුවගෙන ඇවිත් තියෙනව... කැප්ටන් එකවරම පහලට ගිහින් බැලනකොට...
කකුල් දෙකම පණ නැති තිලක අර අත්වාරුවෙ උදව්වෙන් ඇවිදගෙන ගිහින් අත් දෙකම නැති යාලුවට තේ එක පොවනව.............
අපි කී දෙනෙකුට ඒ වගේ හදවතක් තියෙනවද....
....
කතාව ටිකක් කෙටි කරන්නම්...
අද...
එදා අර අම්ම වැස්සෙ ඉටිරෙද්දකින් මුවාකරගෙන "නම ලියන්න උගන්නගන්න" එක්ක ගිය.. වයස දහය වෙන තුරු පාසැල් නොගිය ආබාධිත දරුවා .. තිලක... ලංකාවෙදි ඉතාම හොඳින් ඉගෙනෙගෙන.. විශ්ව විද්‍යාලෙදිත් ඉතා ඉහලින් පංති සාමාර්ථ ඇතුව සමත් වෙලා .. සිංගප්පූරුවෙ විශ්ව විද්‍යාලයකින් ප්ශ්චාත් උපාධි අධ්‍යාපනය සම්පූර්ණ කරපු... ආචාර්ය උපාධිධාරී ඉන්ජිනේරුවෙක්...
ඔහුගෙ අත් දෙකම නැති ... කකුලෙ ඇඟිලි වලින් පරිගණක යතුරු පුවරුව හසුරුවන යහලුවා... අද ලංකාවෙ ප්‍රසිද්ධ පුද්ගලික රූපවාහිනී නාලිකාවක ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් හැටියට වැඩ කරනව...
දිරිය මිනිසුනි ... අතපය හතරම ඉතා හොඳින් තිබියදීත් ජීවිතය ජයගන්නට කිසි උත්සාහයක් නොගෙන අඳුරට ශාප කරමින් ඉන්නා මිනිසුන් අතර ඔබ දෙදෙනා අපට ආඩම්බරයකි...!!!
....................
"අපේ කට්ටියෙ" ජෝජ් අයිය මෙතෙන්දි ඉතාම වටිනා ප්‍රායෝගික අදහසක් දුන්න...
මේ වගේ එක් දරුවෙක් වෙනුවෙන් අවුරුද්දක පාසැල් අධ්‍යාපනයට උදව කරන්න අවශ්‍ය වෙන්නෙ දිරාම් 360 ක වගෙ මුදලක්.. ඒ කියන්නෙ මාසෙකට 30 ක්... දවසකට දිරාම් 1 ක්... මම එවෙලෙම ඒක හිතට ගත්ත... අපි කොයි තරම් මීට වඩා නාස්ති කරනවද...( සිගරට් පැකට් එකක් දිරාම් 8 ක් )...මේ වගේ දෙයක් කොයි තරම් පහසුවෙන් කරන්න පුළුවන්ද...
......................
ප.ලි
මේ වගේ වටිනා අදහසක් ගැන අහන්නට ඒ ගැන නැවත සිතන්නට මෙවැනි අවස්ථාවක් සංවිධානය කල ජෝජ් අයියා ඇතුලු "අපේ කට්ටිය" ටත්... මාව ඒ අවස්ථාවට සහභාගී කරවාගැනීම ගැන දුකා ටත් අවංක ස්තුතිය...
......................
ඊට ප.ලි
යම් කෙනෙකුට CandleAid ගැන වැඩිවිස්තර දැන ගැනීමට අවශ්‍යනම් ඔවුන්ගේ වෙබ් අඩවිය මෙන්න.
CandleAid Lanka
පින්තූරය ගත්තෙත් එතනින්..
"මේ දිනවල මගේ බ්ලොග් සටහනට යටින් Advert එකක් ප්‍රදර්ශණය වීමක් සිදුවේ... මෙය මගේ සම්බන්ධයක් ඇතුව සිදුවන්නක් නොවන වග කියවන ඔබ හැමට දැනුම් දෙමි... මට මෙය නිවැරදි කර ගැනීමට දැනුමක් නැති අතර හැකි ඉක්මනින් හිතවතුන්ගේ උපදෙස් ලැබ මෙය නිවැරදි කර ගැනීමට උත්සාහ කරමි...
- සපතේරු "
තවදුරටත් මුකුත් ලියන්නෙ නැතුව හිටියොත් මේ අමාරුවෙන් පටන් ගත්තු බ්ලොග් කටුව ආසානාසි වීලා යයි කියල හිතෙන නිසා පෝස්ට් එකක් ලියන්න පටන් ගත්ත... ඒත් ඒක ඉවර කරන්න කලින්.. ඊයෙ සිද්ධවෙච්ච දෙයක් නිසා පොඩි ආගිය කතාවක් ඉස්සෙල්ල ලියල දාන්න හිතුව...මේක බොහොම පොඩි සිද්ධියක්...
ඒත් සිද්ධිය කිය්න්න කලින් පැහැදිලි කරන්න පොඩි දෙයක් තියෙනව... මොකද මාතෘකාව දැක්කහම වැරදි අදහසක් ඇතිවෙන්න පුළුවන් නිසා... ඒ තමයි මම කිසිම අන්දමකින් ජාතිවාදී අදහස් ඇති කෙනෙක් නොවන වග... මම ශ්‍රී ලාංකිකයෙක් වීම ගැන ආඩම්බර වන අතර අනිකුත් සියල්ලන්ටම ඒසේ ඔවුන්ගේ ජාතිය ගැන ආඩම්බර වීමට ඇති ඇයිතිය හිස් මුදුනින් පිළිගන්න බව කියන්න ඕනෙ...
ඒක නිසා කිසිවෙක් සුද්දෙක් වුණා කිය මගේ කිසිම වෙනසක් නැති බවත්, පල් වැඩ කරන සුද්දන් වගේම පල් වැඩ කරන ලාංකිකයිනුත් රජ වැඩ කරන සුද්දන් වගේම රජ වැඩ කරන ලාංකිකයිනුත් ඇති බවත් ඔවුන් කරන් වැඩ අනුව පල් සුද්දෙක් හෝ පල් ලාංකිකයෙක් හැටියට සලකන බවත් කියන්නම ඕනෙ.
මෙච්චර ලිව්වෙ එක්සත් ජාතීන්ගේ සංවිධානය වගේ ( විවිධ ජාතීන්ට අයත් යන අර්ථයෙන් ) ටීම් එකක් එක්ක වැඩකරන මං ගැන අනේ වැරදි අදහසක් ඇතිකරගන්න එක අපරාදෙනෙ කියල..
මම මේක සඳරුගෙ කොමෙන්ටුවකත් කිව්ව .... මගෙ ටීම් එකේ ළමයි විසිපහයි ඉන්නෙ...හැබැයි.... ශ්‍රී ලාංකික , උතුරු ඉන්දියානු , මලයාලි , නේපාලි , භූතානි , කෙන්යානු , ඊජිප්තු , පිලිපීන , මියන්මාර ( බුරුම ) සහ පිරිසිදු කරන සහායක බංගලි.... ඔක්කොම ඉන්නව .... කොහොමද......
එකම ජාතියෙ, බොහෝ විට එකම ආගමේ පොඩි කණ්ඩායමක් එක්ක ලංකාවෙ අපි වැඩකරන්න ගියාම තියෙන රඟේ දන්න කෙනෙකුට හිතාගන්න පුලුවන් ඇති මම මොකක්ද කියන්නෙ කියල... මම මේ ඔක්කොම කියන්නෙ ඒ වගේ ටීම් එකක් සමගියෙන් තියාගෙන... කොඳු කැඩෙන අලෙවි ඉලක්ක ( ගිය මාසෙ ඔය කට්ටිය එකතුවෙලා සපත්තු කුට්ටම් 17,000ක් ! විකිණුව ) ළඟා කරගන්න යොමු කරවන්න බෑ ; මම ඇත්තටම හැමෝම ගැන එකවගේ හිතන්නෙ නැත්නම්...
මෙන්න කතාව...
ඒ ගමන තව පොඩි විස්තරයක් කියන්න වෙනව... ඩුබායි මෙට්‍රෝ දුම්රිය ගැන.. ඩුබායි මෙට්‍රෝ දුම්රියත් ( වචනාර්ථයෙන් දුම්රිය කිව්වට රෝද වල ඇති මෝටර වලට රේල් පීලි දිගේ ලැබෙන විදුලියෙන් ක්‍රියාකරන කිසිම දුමක් නැති විදුලි කෝච්චියකි ) අනිත් ඕනෑම මෙට්‍රෝ දුම්රියක් වගේ... නගරෙ වාහන තදබදය අඩු කරන්න පොළොව උඩින් සහ යටින් සාදා ඇති මාර්ග වල දුවන ළඟ ළඟ නැවතුම්පොලවල් ඇති දුම්රිය සේවයක්... ලංකාවෙ හරි ඉන්දියාවෙ හරි විතරක් දුම්රියේ ගිහින් තියෙන කෙනෙකුට පිළිගන්න බැරි තරම් ඇතුළත,ආසන ආදිය පිරිසිදුයි...හැබැයි චුයින්ගම් එකක් වත් හැපුවොත් දඩ... එහෙමයි ඒ පිරිසිදුකම ආරක්ෂා කරගෙන තියෙන්නෙ...
කලින් කිව්ව වගේ කෙටි ගමන් වලට බොහෝ දෙනෙක් පාවිච්චි කරන් නිසා ආසන හුඟාක් සුවපහසු නෑ... අවශ්‍යම කෙනෙකුට යන්න එක පෙට්ටියක් විතර තියෙනව gold class කියල හොඳ සුවපහසු ආසන සහිත... නමුත් ඒකෙ ගමන් ගාස්තුව සාමාන්‍ය පන්තියෙ වගේ තුන් ගුණයක් විතර වෙනව...
තව පොඩි දෙයක්.. ගමන් ගාස්තුව ගෙවන්නෙ කලින් ලබාගත් ඉලෙක්ට්‍රොනික් කාඩ්පතකින්... මෙහේ සාමාන්‍ය පන්තියට අළු පාට කාඩ් පතකුත් gold class එකට රන්වන් කාඩ් පතකුත් විදිහට කාඩ් පත් වර්ග දෙකක් තියෙනව...
ඔය උඩ පින්තූරෙ තියෙන්නෙ ඒ කාඩ් තමා... අනිත් නිල් පාට කාඩ් එක වැඩිහිටි පුරවැසියන්ටත් ශිෂ්‍යයින්ටත් ලබාදෙන අඩු ගාස්තු අයවෙන එකක්, රතු පාට කාඩ් එක අපි ලංකාවෙදි කෝච්චි ටිකට් ගන්නව වගේ එක ගමනකට ගන්න කඩදාසි කාඩ් එකක්...
ඒ වගේම මෙහේ මෙට්‍රෝ දුම්රිය සේවය විතරක් නෙමෙයි බස් ගමනාගමනයත් පාලනය වෙන්නෙ එකම ආයතනයකින් නිසා ඔය කාඩ්පත බස් එකටත් පාව්ච්චි කල හැකියි..
මමත් නිතරම පාවිච්චි කරන්නෙ අළුපාට කාඩ්පතක් ... සාමාන්‍ය ගමන් බිමන් වලට ඉතාම ලාභ පහසු ක්‍රමය නිසා... හිටගෙන යන්න වුනත් විනාඩි 10 ක 15 ක ගමන් නිසා අපහසුවක් නැහැ... ඒත් ටික දුරක් යන්න වෙන ඒ වගේම ගමනෙන් පසු වැදගත් රැස්වීමකට සහභාගි වෙන්න තියෙන වගේ වෙලාවක වෙහෙසකර මුහුණකින් යුතුව යන්න කැමති නැති නිසා ඒ වගේ ගමන් වලදි gold class එකේ යන්න පාවිච්චි කරන gold card එකකුත් නිතර මගෙ සාක්කුවෙ තියෙනව...
.....ඊයේ ඒ වගේ ගමනක් යන්න ඕන වෙලා මම gold card එක tag කරල gold class එකට ගොඩ වුනා...
මේ මෙට්‍රෝ කෝච්චියට රියදුරෙක් නැහැ... පරිඝණක ගත කරපු මධ්‍යගත පාලනයක් තියෙන්නෙ... ඒත් කොන්දොස්තරල කියන්න පුළුවන් නිලධාරි දෙතුන් දෙනෙක් ඉන්නව.. එයාල තමා මගීන් හසුරවන්නෙ..
සාමාන්‍ය ගාස්තු වලට වඩා තුන් ගුණයක් විතර ගනන් නිසා ඒ පෙට්ටියෙ වැඩිපුර සෙනග නෑ කොයි වෙලාවකවත්... එවෙලෙත් නැග්ගෙ තුන් හතර දෙනයි... මට පස්සෙ නැග්ග තඩි සුද්දෙක්... ( ඕස්ට්‍රේලියන් විය හැකියි ) ... දැන් සුද්ද ඉස්සරහම ආසනයක.. ඊලඟට මම... අර කලින් කියපු කොන්දොස්තරලගෙ සිරිතක් තියෙනව gold class එකේ ඉන්න අයගෙ කාඩ් බලනව ඇත්තටම gold card ද කියල... දඩ ගහන්න නෙමෙයි... හරි පෙට්ටියට යවන්න.... ( චෙකර්ල වෙනම ඉන්නව දඩ ගහන්න )...
එවෙලෙ හිටියෙ මලයාලි හරි අපේ කෙනෙක් හරි ( සිංහල නම් නෙමෙයි ) කියල හිතන්න පුලුවන් කොන්දොස්තර කෙනෙක්.... මිනිහ අර සුද්දව පහුකරගෙන මගෙ ළඟට ඇවිත් අහනව මගේ කාඩ් එක gold card එකක්ද කියල... සුද්දගෙන් ඇහුවෙ නෑ... මිනිහ හිතන්න ඇති සුද්දෙකුට පැටලෙන්න විදිහක් නෑ කියල... මටත් දැන් මේක නිකන් අපහාසයක් වගේ... ඇයි යකෝ මට ඉස්සරහ සීට් එකේ ඉන්න එකාගෙන් අහන්නැතුව.. ඌව පහුකරගෙන ඇවිල්ල මගෙන්ම අහන්නෙ..? මමත් කතාවක් නැතුවම සාක්කුවෙ තිබ්බ කාඩ් එක එලියට අරන් පෙන්නල ආයි සාක්කුවට දාගත්ත...
මම කාඩ් එක පෙන්නුවහම කොන්දොස්තර තැන යන්න හැරුන...
එතකොට සුද්ද අලු පාට regular card එකක් එලියට අරන් පෙන්නල කොන්දොස්තරගෙන් අහනව " I've got this card... am I sitting in wrong class..? ( මගේ ළඟ තියෙන්නෙ මේ කාඩ් එක... මම ඉන්නෙ වැරදි පෙට්ටියෙද... ?) " කියල ...
අනේ අර කොන්දොස්තර අර සුද්දවත් දක්කගෙන අනිත් පෙට්ටියට ගියා...
සුද්දන්න්ට වැරදෙන්නෙ නෑ ය... උගේ වගේ කලු හම තියෙන මට වැරදිලා gold class එකේ වාඩිවෙලා ඉන්නෙය කියල හිතපු ඒ කොන්දොස්තරට එවෙලෙ මම දාපු සාකැස්ටික් හිනාව බලාගන්න කණ්නාඩියක් තිබුනෙ නෑ නොවැ...
-------------------------------------------------------------------
මම සිංහල බ්ලොග් අවකාශයට ටිකක් අලුත්... ඒක නිසා මේ කරන්ට හදන වැඩේ හරිද වැරදිද කියල හරියටම දන්නෙ නෑ...
කපුටන්ගෙ සිරිතක් තියෙනවලු කෑමක් හම්බවුනාම කා..ක් කා..ක් ගාල කට්ටියට දැනුම් දෙන... අන්න ඒ වගේ වැඩක් කරන්න හදන්නෙ..
අද දාන්නෙ පෝස්ට් එකක් නෙමෙයි ලින්ක් එකක්...
සිද්ධිය මේකයි...
මම බ්ලොග් ලියන්න හුඟක් කලින් කියවපු බ්ලොග් එකක් තියෙනව "ජනූගෙ සටහන්" කියල.. ටික දවසක් ඕක මගඇරිල තිබිල... ළඟදි ආයිත් කියවන්න ගත්ත... ඊයෙ දාල තියෙන පෝස්ට් එකේ තියෙනව අමරදේවයන්ගෙ හරිම ලස්සන ගීතයක්...
මේ කරන දේ කරන්න හේතුව වුනේ ඒ ගීතය.. හේතුව මේකයි.. මම කවදාවත් ඒ ගීතය මීට කලින් අහල නෑ...
මගෙ බ්ලොග් එක බලන්නෙ විස්සක් තිහක් වුනත් ඒ අතරින් ජානුගෙ පෝස්ට් එක මිස් වුන දෙතුන් දෙනෙක් හරි ඉන්නවනම් ඒ අයත් එක්ක මේක බෙදාගන්න හිතුව...
මම මේකට ජනනි හංසකිංකිණි ගෙන් අවසර ගත්තෙ නෑ.. බැන්නොත් ගලවනව කියල හිතාගෙන දාන්නෙ...
ගීතය මේකයි ..."මා තනි කර දා පාවෙන ඔබගේ ජීවන නෞකා නොබිඳේවා…!!"
Then.. without further ado......මෙතැනින් ජනනි ගේ පෝස්ට් එකට ගිහින් ගීතයත් රස විඳල කොමෙන්ටුවක් හෙම දාල යන්ට..ප.ලි.
ලිව්වට පස්සෙ හිතුන මේ වැඩේ ටිකක් අලියගෙයි කූඹියගෙයි කතාව වගෙ එකක් කියල .. ඒත් කමක් නෑ..