අද තිස් වෙනිදා... මාසෙ අන්තිම දවස...
අලෙවි ඉලක්ක මත වැඩ කරන කාටත් ඒව සම්පූර්ණ කරගන්න තියෙන අන්තිම දවස... අලෙවි ඉලක්ක වලට වැඩ කරන කෙනෙක්ටම තමා ඉතින් මාසෙ අන්තිමට තියෙන පීඩනය තෙරුම් ගන්න පුළුවන් වෙන්නෙ...
මේ මුදල් අවුරුද්දෙ මුල ඉඳන්ම මාසයක් ගානෙ අලෙවි වාර්තා බිඳිමින් අලුත් වාර්තා තියමින් කරණම් ගහපු මට මේ මාසෙ සොරි තමා... එක හේතුවක් ඉතින් එහෙම අලෙවියක් පෙන්නපුවහම මාසෙන් මාසෙ ඉලක්ක ඉහල දාන එක... ඕව ඉතින් කියල වැඩක් ඇතෑ...
ඉතින් සීයෙට අනූ ගානක් කරල පොඩි එහා මෙහාවකින් ගහල යන්න යන ඉලක්කෙ ගැන කල්පනා කර කර ඉන්නකොට ( ඉලක්කෙ කිව්වට ඉලක්කෙමත් නෙමෙයි ... ඇයි ඒක කලහම ලැබෙන පඩියෙන් හතරෙන් පංගුවක් විතර වෙන අමතර පාරිතෝෂික මුදල ගහල යන එක.. ) අද උදේ පරණ යාලුවෙකුගෙන් BBM එකක් ආව... ඒක පොඩි විහිළු කතාවක්...
අන්න ඒ කතාව තමා අද දාන්නෙ... පොඩිම පොඩි විහිළුවක්...
කතාව මේකයි...
මනුස්සයෙක් තමුන්ගෙ පාඩුවෙ නිදාගෙන ඉන්න තැනට මාරය ඇවිත් (නෑ.. නෑ ..මේ මරණය භාර එකා) කියනව .. "මම නුඹව වසර සීයකට මරණයෙන් නිදහස් කරනව... පලයන් ගිහින් තමුන් කැමති දෙයක් කරල හිටපන්... උඹව මැරෙන්නෙ නෑ තව අවුරුදු සීයකට " කියල.
අර මිනිහත් හොඳ ජොලියෙන් ඇවිදින්න යන්න හිතාගෙන පාරට බැහැල යන්න හදනකොටම.. වාහනයක හැප්පිලා එතනම් මැරෙනව...
මිනිහ පර ලෝකෙට ගිය හැටියෙම මාරය හොයාගෙන යනව... "මොකක්ද ඕයි තමුසෙ මට කරපු වැඩේ.. මොකද මාව රැවැට්ටුවෙ..?" කියල අහනව...
.
.
.
.
මාරය කියනව... "සමාවෙයන් මිත්‍රයා... මාසෙ අන්තිම... මට ටාගට් එකට පොඩ්ඩක් මදිවුණා.. !!!"
පින්තූර ගත්තෙ මෙතැනින්..
http://mk-dragon.deviantart.com/
අප්පේ... මේ බ්ලොගේ මකුළු දැල් බැඳිල පුස් කාල යන්න නොදී මුකුත් ලියන්න ඕනැ කියල හිත හිතා හිටියත් පහුගිය දවස් වල නෙට් එකේ ගත කරන්න ලැබුණ වෙලාව බ්ලොග් ලියනව වෙනුවට බ්ලොග් කියවන්න යෙදෙව්ව නිසා ලිවිල්ල අමතක වෙලාම ගියා...
ඒවයින් කාරි නෑ... අදත් පොඩි ආගිය කතාවක් එක්ක ගීතයක් ගැන පොඩි සටහනක් දාන්නයි හදන්නෙ...
ඊයෙ හවස දුකා මැසේජ් එකක් එවල තිබුණ හවස වැඩක් නැත්නම් කයියක් ගහන්න සෙට් වෙමුද... හද ගී පොත ලියන තිස්ස අයියත් මේ දවස් ටිකේ පොඩි වැඩකට ඩුබායි ඇවිත් නැවතිලා ඉන්නෙ මම ඉන්න කිට්ටුවමයි කියල කට්ටිය හවස හම්බ වෙන්න දා ගත්ත...
මම හවස යනකොටත් දුකායි , තිස්ස අයියයි , රුචක මල්ලියි මුණ ගැහිල ෂොපිං හෙම කරල හිටියෙ... මම ඊයෙ තමා තිස්ස අයියව මුලින්ම මුණගැහුනෙත්... විහිළුවෙන් තහලුවෙන් කෑමට වාඩි වෙන ගමන්ම නොයෙක් දේවල් ගැන කතාව කෙරීගන ගියා...
තිස්ස අයිය ඉන්න තැනක ඉතින් කතාව සිංහල ගීත පැත්තට හැරෙන එක අහන්න දෙයක් නෑනෙ...ඉතින් අපිත් ගීත ගැන, ගායක ගායිකාවො ගැන නොයෙක් දේ කතා කළා...
තිස්ස අයිය කියපු එක වැදගත් දෙයක් තමා ගීත රසවිඳින, ගීත විචාර කරන අය ගීතය මුළුමනින්ම එක නිර්මාණයක් හැටියට අරන් රස විඳිනව මිසක්, ඒකෙ තැන් තැන් වලින් වචන වලින් අරන් විග්රහ කරන්න යන එක විකාරයක් බව...
දැන් මේක ලියන්න ගත්තම.. එහෙම ගීත කෑලි වලින් අල්ල ගැනීම ගැන මට පොඩි විහිළු කතාවක් මතක් වුණා...
නිවේදක : ඔබට ඉතාම දුක්බර හැඟීම් සිතට දනවන ගීතයක් තියෙනවද..?
අසන්නා : ඔව්, "මලේ හැන්දෑවේ වහින වෙලාවේ.." කියන ගීතය.
නිවේදක : ඒත් , ඒක දුක් ගීතයක් නොවෙයි නේද ?
අසන්නා : මෙහෙමයි... මාව කුඩා කාලෙ ඉඳන් බලාගත්තෙ මගේ සීය,... සීයට මම හරි ආදරෙයි.... ඉතින් අපේ සීය මළේ හැන්දෑවෙ වහින වෙලාවකනෙ...!
..........................................................
ආපහු ආගිය කතාවට... ඉතින් අපේ කතාව කෙරීගෙන ගියා, අතරින් පතර රුචක මල්ලිගෙ "විමර්ශනාත්මක" , "ගැඹුරු", "ශාස්ත්‍රීය" ප්‍රශ්න වලින් සාකච්ඡාවෙ මායිම් පුළුල් වුණා...
ඔය අතරෙ තමා ටී එම් ගැන කතාව ආවෙ... දුකායි මමයි අදහසක් ඉදිරිපත් කළා ටී එම් කොයිතරම් වටිනා කටහඬක් තියෙන දක්ෂ ගායකයෙක්ද, ඒත් එකම ආරක ගීත නේද ඔහු ගායනා කරල තියෙන්නෙ කියල...
එහකොට තිසා දක්වපු අදහස නිසා තමා අද මේ පෝස්ට් එක ලියන්න හේතුවුන නිමිත්ත ලැබුණෙ...
"මල්ලි , ඔතන වෙලා තියෙන්නෙ මේකයි අපිට අස්සවල තියෙන්නෙත්, අපි දිගටම අහන්නෙත් , "රත්තරන් නෙත් දෙකින්"..., "කෝ මාපැතූ"..., වගේ එකම විදිහෙ සිංදු, ඒ නිසා අපිට තේරෙන්නෙ ටී එම් ඔය බොක්ස් ගිටාර් එක ප්රමුඛව ඇහෙන එකම විදිහෙ සිංදු විතරයි කියල තියෙන්නෙ කියල... ඒත් අපි නිතර නොඅහන ටී එම් ගෙ වෙනස් ගීත තියෙනව"... කියන අදහස තමයි තිසා කිව්වෙ...
පස්සෙ රෑ ගෙදර ඇවිල්ල මම නිකමට ටී එම් ගෙ අපි නිතර අහන්නෙ නැති ගීත මොනවද කියල බලල කීපයක් ඇහුව... එතකොට තමයි මේ ගීත හම්බ වුණේ...
කැමති අයට අහන්න ගීත දෙකක් ඉස්සෙල්ල දානව, කතාවට අදාළ ගීතයට එන්න කලින්...
ලොව බිහි වූ දා පටන්...
ශාන්ති කර්මයක් කරල පෙම්වතුන්ට වේදනා ඇති නොවේවා කියල ප්‍රාර්ථනා කරනව වගේ අදහසක් දෙන මේ ගීතයෙ තනුවෙ සහ සංගීතයෙ තියෙන අපේ සාම්ප්‍රදායික ශාන්තිකර්ම වල නාද රටා ඔබටත් ඇහෙනවාද බලන්න...
[soundcloud url="http://api.soundcloud.com/tracks/28894620"]
නෙතු පියමි සිහිනයක...
ටී එම් ගෙ කටහඬේ ආධිපත්‍යය උපරිමෙන්ම තියෙන අපූරු ගීතයක් වන මේ ගීතයෙ අතුරු සංගීත කොටස් වලට සවන් දෙන්න , බටහිර Jazz සංගීතය ඔබට අහෙනවාද බලන්න...
[soundcloud url="http://api.soundcloud.com/tracks/28897305"]
..............
කතාවට ඔය ගීත දෙක වුණත් සෑහෙනව වුණත් විදෙස් ගතවෙලා ඉන්න අපේ ජීවිත විලට හුඟාක් සමීප අත්දැකීමක් ගැන ලියවුණු මේ ගීතය බලන්න...
උපන් බිමෙන් පිට වූයේ...
උපන් බිමෙන් පිට වූයේ
නුහුරු රටේ තනි වූයේ
පුංචි පුතේ පුංචි දුවේ
නුඹ හින්දයි වෙහෙසෙන්නේ
හැමදා රෑ සිහින වැලේ
නුඹ එනවා හිතට මගේ
මා හෙලනා ඩා බිංදූ
මසුරං වේ නුඹ හින්දා
රස්තෆාරියන් ඩ්‍රෙඩ්ලොක් කොණ්ඩ කරල් වෙනුවට බදාම දැම්ම වගේ හෙයා ක්‍රීම් ගාල නූලට පීරපු කොණ්ඩෙ තිබුණත්, reggae ගායකයන්ගෙ උගුර රළු වැලිකඩදාසියෙන් මැදල වගෙ තියෙන කටහඬ වෙනුවට සුමිහිරි ,සෞම්‍ය ,පැහැදිලි ටී එම් ගෙ හඬින් කිව්වත් මේ ගීතයෙ තියෙන reggae නාද රටාව ඔබටත් ඇහෙනවාද බලන්න..
[soundcloud url="http://api.soundcloud.com/tracks/28812554"]
....තිසා අයිය අපි කෑම කකා හිටපු මේසෙ පළලට අත් දෙක දිග ඇරල පෙන්නල "මල්ලි ටී එම් හෙණ රේන්ජ් එකක සිංදු කියල තියෙනව මල්ලි"... කියල කියපු එක හරියටම තේරුණේ දැන්ය...
ප.ලි.
දූ දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් උන්ගෙන් වෙන්වෙලා, උපන් බිමෙන් වෙන්වෙලා, නුහුරු රටේ තනිවූවන්ගෙ ගොඩට අලුතෙන්ම එකතුවුණ නාඳුනන බ්ලොග් සහෘදයා.. ඕනයා.. ! ට මේ සින්දුව dedicate කරන්න කැමතියි...
ඊට ප.ලි
ඉඳල හිටල ලියවුන පෝස්ට් දහයක් පමණ ඇති මගේ බ්ලොග් කඩමාල්ල බලන්නට පන්දහස් වාරයක් ගොඩවුණු හැමදෙනාටම ස්තුතියි...
පින්තූර ගත්තෙ මෙතැනින්..
http://www.sl-spirit.com
හුඟාක් කාලෙකට පස්සෙ ගිය සිකුරාද මෙහේ සිටින ශ්‍රී ලාංකිකයින්ගෙ එකමුතුවකට සහභාගි වෙන්න ලැබුණ... මගේ රැකියාවෙ ස්වභාවය නිසා මට ඒ වගේ දේවල් වලට සහභාගි වෙන්න ලැබෙන්නෙ හරි අඩුවෙන්... මොකද මෙහේ අනෙකුත් රැකියාවන් කරන හැමෝටම වගේ සති අන්තය නිවාඩු... ඉතින් ඒ අය ඔය වගේ එකමුතු වෙලා කරන වැඩ දාගන්නෙ සති අන්තෙට... වෙළෙන්දෙක් වෙච්ච මට ඉතින් හැමෝටම නිවාඩු සති අන්තය තමා සතියෙ ඉතාම කාර්යබහුල දවස් දෙක,.. ඇයි හැමෝම නිවාඩු නිසා ෂොපිං එනවනෙවැ...
ඒත් කාලයක් තිස්සෙ මුණගැහෙන්න බලාගෙන හිටපු දුමීවත් , ජෝජ් අයිය ඇතුළු " අපේ කට්ටියෙ " අයවත් මුණගැහෙන්න ලැබෙන අවස්ථාවක් තියෙනව කියල දුකා කියපුවහම, පොඩි දහං ගැටයක් ගහල කලින් පැනල ගෙදර ආව... ඇවිත් දුකා ගෙ සාදර අනුග්රහෙයෙන් ප්‍රවාහන පහසුකමුත් සලසගෙන ගිහින් ( අලුත් කාර් එකකින් ඇවිත් මට කාර් එක අඳුරගන්න බැරි වෙලා පොඩි කේස් එකකුත් වුණා )... කාලෙකින් ගතකරපු වටිනාම හැන්දෑව ගතකරන්න ලැබුණ...
මේ පෝස්ට් එක ලියන්න හේතුව වුණේ අන්න එතනදි අහන්න ලැබුණ වටිනා අදහස් ගොඩක් සරලව ඉදිරිපත් වුණ කතාවක්... කතාව පැවැත්වුවෙ CandleAid Lanka කියන සුබසාධන සංවිධානය බිහිකරල එහි සභාපතිත්වය දරමින් මෙහෙයවන කැප්ටන් එල්මෝ ජයවර්ධන කියල මහත්මයෙක්... ලංකාවෙන් බිහිවෙච්ච විශිෂ්ටතම ගුවන් නියමුවෙක්... (පෝස්ට් එකේ මෙතනින් එහාට ඒ මහත්මයව හඳුන්වන්නෙ කැප්ටන් කියල.. )
කැප්ටන්ගෙ කතාවෙන් එයා උත්සාහ කලේ.. සෑම මනුස්සයෙකුටම තමන් මොන තත්වයක හිටියත් තවත් මනුස්සයෙකුට යම් උදව්වක් කරන්නට අවස්තාවක් ඇති බව තේරුම් කරල දෙන්නත්... එහෙම කරන එක යුතුකමක් නේද කියල මතක් කරලදෙන්නත්...
කැප්ටන් CandleAid කියන සංවිධානය ඇතිකරල තියෙන්නෙත් ඒක පවත්වාගෙන යන්නේත් ඒ අදහසින්... තමන්ට පුලුවන් විදිහට ලංකාවෙ දුප්පත්කම නිසා මූලික අධ්‍යාපනය අහිමෙවෙන දරුවන්ට... නැත්නම උසස් අධ්‍යාපනය සම්පූර්ණ කරගන්න බැරි තරුණ දරුවෙකුට ඒ අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කරගන්න පුංචි හරි උදව්වක් වෙන්න කැමති අයට ඒ සඳහා ඉතාම හොඳ channel එකක් හැටියට මට හිතෙන හැටියට මේ සංවිධානය හඳුන්වන්න පුලුවන්...
අපි හුඟ දෙනෙක් උදව් කරන්න කැමතියි... ඒත් අපිට කරන්න පුළුවන් දේ පොඩියි කියල කිසිවක් නොකර ඉන්නව... ඒත් කැප්ටන් මතක් කරල දුන්නෙ අපිට කරන්න පුලුවන් ඉතාම පොඩි දෙයක් වුණත් කරන එක කොයි තරම් වටිනවද කිඅය එකයි...
ඒක පැහැදිලි කරන්න කැප්ටන් ඒ සංවිධානය හරහා ලැබුණු උපකාර වලින් තමන්ගෙ ජීවිතය ජයගත් තරුණයෙකුගෙ කතාවක් අපිට කිව්ව...
කතාව මේකයි...
එක දරුවෙක් ඉන්නව... අපි තිලක කියල කියමු... ඔහුගෙ ඉනෙන් පහල කොටස සම්පූර්ණ්යෙන්ම ආබාධිතයි... ඉතාම දුප්පත් අම්ම හුඟාක් මහන්සි වෙනව මේ දරුවට යම් කිසි අධ්‍යාපනයක් ලබා දෙන්න...
ඒත් ඔහුට ඇවිදින්න බෑ... පාසැලට ඔසවාගෙන යන්න ඕනෙ... කිසි කෙනෙක් උනන්දුවක් නෑ ඔහුට උගන්වන්න... ඉතාම දුක්බර තත්වයක් යටතෙ තමයි ඔවුන් ජිවත් වෙලා තියෙන්නෙ...වයස අවුරුදු දහයක් වෙනකම් ඔහු පාසැල් ගිහිල්ලම නෑ...
ඒත් අම්ම මේ දරුවව ඉස්කෝලෙ යවන එක අත ඇරල නෑ...
ඒ දයාබර අම්ම දවසක් මහ වැස්සෙ කුඩයක් වත් නැතුව මේ දරුවවත් ඉටිරෙද්දකින් පෙරවගෙන ඉස්කෝලෙට උස්සගෙන ගියහම ගුරුවරයෙක් මොකක්ද කියල තියෙන්නෙ ... "මේ අබ්බගාතයට උගන්වන්න මේ හැටි මොකට මහන්සි වෙනවද ? " ...
ඒත් ඒ අම්මට ඕන වෙලා තියෙනව "කොහොමහරි මේකට නම ලියන හැටි උගන්වගන්න " ...
එහෙම තත්වයක් තියෙද්දි කැප්ටන්ට මේ ගැන දැනගන්න ලැබිල තීරණය කරල තියෙනව මේ සංවිධානය හරහා ඔහුගෙ අධ්‍යාපනයට උදව් කරන්න... ඔවුන් පටන් ගන්නව... තිලක හොඳින් ඉගෙන ගන්නව... අට්ටාලයක් වගේ ආධාරකයක් ඇතුව තිලක ඇවිදින්න ගන්නව...
මෙන්න මේ අතරෙදි... "තමන් මොන තත්වයක හිටියත්.. තව කෙනෙකුට උදව්වක් කරන්න උවමනානම් පුළුවන්" කියන එකට හොඳ උදාහරණයක් අපිට තිලක දෙනව...
ඔහු දවසක් කැප්ටන්ට ඇවිත් කියනව... "කැප්ටන් මගෙ තව ආබාධිත යාලුවෙක් ඉන්නව ඔහුටත් උදව් කරන්න ප්ළුවන්ද..?" ...
කැප්ටන් කියනව "ඔව් අපි උදව් කරමු... මොකක්ද ඔහුගෙ ආබාධය..?"
"ඔහුගෙ අත් දෙකම නෑ..!"
"ඔහු මොකක් කරන්නද කැමති..."
"ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් වෙන්න...!!!"
....ඇත්තටම ඔහුටත් මේ සංවිධානය හරහා උදව් ලැබෙනව...
එක් දවසක සිදුවුණ ඉතාම සංවේදී සිද්දියක් අපට කැප්ටන් කිව්ව...
දවසක් තිලක ත් අර යහලුවත් ඇවිත් තියෙනව කැපටන්ගෙ ගෙදර... එයාලට තේ දෙන්න කියල කැපටන් උඩ තට්ටුවට ගිහින් තියෙනව ටිකකට... සුලු වෙලාවකින් කැප්ටන්ගෙ බිරිඳ දරාගන්න බැරි දුකකින් හඬාගෙන උඩට දුවගෙන ඇවිත් තියෙනව... කැප්ටන් එකවරම පහලට ගිහින් බැලනකොට...
කකුල් දෙකම පණ නැති තිලක අර අත්වාරුවෙ උදව්වෙන් ඇවිදගෙන ගිහින් අත් දෙකම නැති යාලුවට තේ එක පොවනව.............
අපි කී දෙනෙකුට ඒ වගේ හදවතක් තියෙනවද....
....
කතාව ටිකක් කෙටි කරන්නම්...
අද...
එදා අර අම්ම වැස්සෙ ඉටිරෙද්දකින් මුවාකරගෙන "නම ලියන්න උගන්නගන්න" එක්ක ගිය.. වයස දහය වෙන තුරු පාසැල් නොගිය ආබාධිත දරුවා .. තිලක... ලංකාවෙදි ඉතාම හොඳින් ඉගෙනෙගෙන.. විශ්ව විද්‍යාලෙදිත් ඉතා ඉහලින් පංති සාමාර්ථ ඇතුව සමත් වෙලා .. සිංගප්පූරුවෙ විශ්ව විද්‍යාලයකින් ප්ශ්චාත් උපාධි අධ්‍යාපනය සම්පූර්ණ කරපු... ආචාර්ය උපාධිධාරී ඉන්ජිනේරුවෙක්...
ඔහුගෙ අත් දෙකම නැති ... කකුලෙ ඇඟිලි වලින් පරිගණක යතුරු පුවරුව හසුරුවන යහලුවා... අද ලංකාවෙ ප්‍රසිද්ධ පුද්ගලික රූපවාහිනී නාලිකාවක ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් හැටියට වැඩ කරනව...
දිරිය මිනිසුනි ... අතපය හතරම ඉතා හොඳින් තිබියදීත් ජීවිතය ජයගන්නට කිසි උත්සාහයක් නොගෙන අඳුරට ශාප කරමින් ඉන්නා මිනිසුන් අතර ඔබ දෙදෙනා අපට ආඩම්බරයකි...!!!
....................
"අපේ කට්ටියෙ" ජෝජ් අයිය මෙතෙන්දි ඉතාම වටිනා ප්‍රායෝගික අදහසක් දුන්න...
මේ වගේ එක් දරුවෙක් වෙනුවෙන් අවුරුද්දක පාසැල් අධ්‍යාපනයට උදව කරන්න අවශ්‍ය වෙන්නෙ දිරාම් 360 ක වගෙ මුදලක්.. ඒ කියන්නෙ මාසෙකට 30 ක්... දවසකට දිරාම් 1 ක්... මම එවෙලෙම ඒක හිතට ගත්ත... අපි කොයි තරම් මීට වඩා නාස්ති කරනවද...( සිගරට් පැකට් එකක් දිරාම් 8 ක් )...මේ වගේ දෙයක් කොයි තරම් පහසුවෙන් කරන්න පුළුවන්ද...
......................
ප.ලි
මේ වගේ වටිනා අදහසක් ගැන අහන්නට ඒ ගැන නැවත සිතන්නට මෙවැනි අවස්ථාවක් සංවිධානය කල ජෝජ් අයියා ඇතුලු "අපේ කට්ටිය" ටත්... මාව ඒ අවස්ථාවට සහභාගී කරවාගැනීම ගැන දුකා ටත් අවංක ස්තුතිය...
......................
ඊට ප.ලි
යම් කෙනෙකුට CandleAid ගැන වැඩිවිස්තර දැන ගැනීමට අවශ්‍යනම් ඔවුන්ගේ වෙබ් අඩවිය මෙන්න.
CandleAid Lanka
පින්තූරය ගත්තෙත් එතනින්..