Wednesday, September 14, 2011

ඇයි සුද්දන්ට ටැපලෙන්නෙ නැද්ද...?

"මේ දිනවල මගේ බ්ලොග් සටහනට යටින් Advert එකක් ප්‍රදර්ශණය වීමක් සිදුවේ... මෙය මගේ සම්බන්ධයක් ඇතුව සිදුවන්නක් නොවන වග කියවන ඔබ හැමට දැනුම් දෙමි... මට මෙය නිවැරදි කර ගැනීමට දැනුමක් නැති අතර හැකි ඉක්මනින් හිතවතුන්ගේ උපදෙස් ලැබ මෙය නිවැරදි කර ගැනීමට උත්සාහ කරමි...
- සපතේරු "





තවදුරටත් මුකුත් ලියන්නෙ නැතුව හිටියොත් මේ අමාරුවෙන් පටන් ගත්තු බ්ලොග් කටුව ආසානාසි වීලා යයි කියල හිතෙන නිසා පෝස්ට් එකක් ලියන්න පටන් ගත්ත... ඒත් ඒක ඉවර කරන්න කලින්.. ඊයෙ සිද්ධවෙච්ච දෙයක් නිසා පොඩි ආගිය කතාවක් ඉස්සෙල්ල ලියල දාන්න හිතුව...මේක බොහොම පොඩි සිද්ධියක්...

ඒත් සිද්ධිය කිය්න්න කලින් පැහැදිලි කරන්න පොඩි දෙයක් තියෙනව... මොකද මාතෘකාව දැක්කහම වැරදි අදහසක් ඇතිවෙන්න පුළුවන් නිසා... ඒ තමයි මම කිසිම අන්දමකින් ජාතිවාදී අදහස් ඇති කෙනෙක් නොවන වග... මම ශ්‍රී ලාංකිකයෙක් වීම ගැන ආඩම්බර වන අතර අනිකුත් සියල්ලන්ටම ඒසේ ඔවුන්ගේ ජාතිය ගැන ආඩම්බර වීමට ඇති ඇයිතිය හිස් මුදුනින් පිළිගන්න බව කියන්න ඕනෙ...

ඒක නිසා කිසිවෙක් සුද්දෙක් වුණා කිය මගේ කිසිම වෙනසක් නැති බවත්, පල් වැඩ කරන සුද්දන් වගේම පල් වැඩ කරන ලාංකිකයිනුත් රජ වැඩ කරන සුද්දන් වගේම රජ වැඩ කරන ලාංකිකයිනුත් ඇති බවත් ඔවුන් කරන් වැඩ අනුව පල් සුද්දෙක් හෝ පල් ලාංකිකයෙක් හැටියට සලකන බවත් කියන්නම ඕනෙ.

මෙච්චර ලිව්වෙ එක්සත් ජාතීන්ගේ සංවිධානය වගේ ( විවිධ ජාතීන්ට අයත් යන අර්ථයෙන් ) ටීම් එකක් එක්ක වැඩකරන මං ගැන අනේ වැරදි අදහසක් ඇතිකරගන්න එක අපරාදෙනෙ කියල..

මම මේක සඳරුගෙ කොමෙන්ටුවකත් කිව්ව .... මගෙ ටීම් එකේ ළමයි විසිපහයි ඉන්නෙ...හැබැයි.... ශ්‍රී ලාංකික , උතුරු ඉන්දියානු , මලයාලි , නේපාලි , භූතානි , කෙන්යානු , ඊජිප්තු , පිලිපීන , මියන්මාර ( බුරුම ) සහ පිරිසිදු කරන සහායක බංගලි.... ඔක්කොම ඉන්නව .... කොහොමද......

එකම ජාතියෙ, බොහෝ විට එකම ආගමේ පොඩි කණ්ඩායමක් එක්ක ලංකාවෙ අපි වැඩකරන්න ගියාම තියෙන රඟේ දන්න කෙනෙකුට හිතාගන්න පුලුවන් ඇති මම මොකක්ද කියන්නෙ කියල... මම මේ ඔක්කොම කියන්නෙ ඒ වගේ ටීම් එකක් සමගියෙන් තියාගෙන... කොඳු කැඩෙන අලෙවි ඉලක්ක ( ගිය මාසෙ ඔය කට්ටිය එකතුවෙලා සපත්තු කුට්ටම් 17,000ක් ! විකිණුව ) ළඟා කරගන්න යොමු කරවන්න බෑ ; මම ඇත්තටම හැමෝම ගැන එකවගේ හිතන්නෙ නැත්නම්...

මෙන්න කතාව...


ඒ ගමන තව පොඩි විස්තරයක් කියන්න වෙනව... ඩුබායි මෙට්‍රෝ දුම්රිය ගැන.. ඩුබායි මෙට්‍රෝ දුම්රියත් ( වචනාර්ථයෙන් දුම්රිය කිව්වට රෝද වල ඇති මෝටර වලට රේල් පීලි දිගේ ලැබෙන විදුලියෙන් ක්‍රියාකරන කිසිම දුමක් නැති විදුලි කෝච්චියකි ) අනිත් ඕනෑම මෙට්‍රෝ දුම්රියක් වගේ... නගරෙ වාහන තදබදය අඩු කරන්න පොළොව උඩින් සහ යටින් සාදා ඇති මාර්ග වල දුවන ළඟ ළඟ නැවතුම්පොලවල් ඇති දුම්රිය සේවයක්... ලංකාවෙ හරි ඉන්දියාවෙ හරි විතරක් දුම්රියේ ගිහින් තියෙන කෙනෙකුට පිළිගන්න බැරි තරම් ඇතුළත,ආසන ආදිය පිරිසිදුයි...හැබැයි චුයින්ගම් එකක් වත් හැපුවොත් දඩ... එහෙමයි ඒ පිරිසිදුකම ආරක්ෂා කරගෙන තියෙන්නෙ...

කලින් කිව්ව වගේ කෙටි ගමන් වලට බොහෝ දෙනෙක් පාවිච්චි කරන් නිසා ආසන හුඟාක් සුවපහසු නෑ... අවශ්‍යම කෙනෙකුට යන්න එක පෙට්ටියක් විතර තියෙනව gold class කියල හොඳ සුවපහසු ආසන සහිත... නමුත් ඒකෙ ගමන් ගාස්තුව සාමාන්‍ය පන්තියෙ වගේ තුන් ගුණයක් විතර වෙනව...

තව පොඩි දෙයක්.. ගමන් ගාස්තුව ගෙවන්නෙ කලින් ලබාගත් ඉලෙක්ට්‍රොනික් කාඩ්පතකින්... මෙහේ සාමාන්‍ය පන්තියට අළු පාට කාඩ් පතකුත් gold class එකට රන්වන් කාඩ් පතකුත් විදිහට කාඩ් පත් වර්ග දෙකක් තියෙනව...

ඔය උඩ පින්තූරෙ තියෙන්නෙ ඒ කාඩ් තමා... අනිත් නිල් පාට කාඩ් එක වැඩිහිටි පුරවැසියන්ටත් ශිෂ්‍යයින්ටත් ලබාදෙන අඩු ගාස්තු අයවෙන එකක්, රතු පාට කාඩ් එක අපි ලංකාවෙදි කෝච්චි ටිකට් ගන්නව වගේ එක ගමනකට ගන්න කඩදාසි කාඩ් එකක්...

ඒ වගේම මෙහේ මෙට්‍රෝ දුම්රිය සේවය විතරක් නෙමෙයි බස් ගමනාගමනයත් පාලනය වෙන්නෙ එකම ආයතනයකින් නිසා ඔය කාඩ්පත බස් එකටත් පාව්ච්චි කල හැකියි..

මමත් නිතරම පාවිච්චි කරන්නෙ අළුපාට කාඩ්පතක් ... සාමාන්‍ය ගමන් බිමන් වලට ඉතාම ලාභ පහසු ක්‍රමය නිසා... හිටගෙන යන්න වුනත් විනාඩි 10 ක 15 ක ගමන් නිසා අපහසුවක් නැහැ... ඒත් ටික දුරක් යන්න වෙන ඒ වගේම ගමනෙන් පසු වැදගත් රැස්වීමකට සහභාගි වෙන්න තියෙන වගේ වෙලාවක වෙහෙසකර මුහුණකින් යුතුව යන්න කැමති නැති නිසා ඒ වගේ ගමන් වලදි gold class එකේ යන්න පාවිච්චි කරන gold card එකකුත් නිතර මගෙ සාක්කුවෙ තියෙනව...

.....ඊයේ ඒ වගේ ගමනක් යන්න ඕන වෙලා මම gold card එක tag කරල gold class එකට ගොඩ වුනා...

මේ මෙට්‍රෝ කෝච්චියට රියදුරෙක් නැහැ... පරිඝණක ගත කරපු මධ්‍යගත පාලනයක් තියෙන්නෙ... ඒත් කොන්දොස්තරල කියන්න පුළුවන් නිලධාරි දෙතුන් දෙනෙක් ඉන්නව.. එයාල තමා මගීන් හසුරවන්නෙ..

සාමාන්‍ය ගාස්තු වලට වඩා තුන් ගුණයක් විතර ගනන් නිසා ඒ පෙට්ටියෙ වැඩිපුර සෙනග නෑ කොයි වෙලාවකවත්... එවෙලෙත් නැග්ගෙ තුන් හතර දෙනයි... මට පස්සෙ නැග්ග තඩි සුද්දෙක්... ( ඕස්ට්‍රේලියන් විය හැකියි ) ... දැන් සුද්ද ඉස්සරහම ආසනයක.. ඊලඟට මම... අර කලින් කියපු කොන්දොස්තරලගෙ සිරිතක් තියෙනව gold class එකේ ඉන්න අයගෙ කාඩ් බලනව ඇත්තටම gold card ද කියල... දඩ ගහන්න නෙමෙයි... හරි පෙට්ටියට යවන්න.... ( චෙකර්ල වෙනම ඉන්නව දඩ ගහන්න )...

එවෙලෙ හිටියෙ මලයාලි හරි අපේ කෙනෙක් හරි ( සිංහල නම් නෙමෙයි ) කියල හිතන්න පුලුවන් කොන්දොස්තර කෙනෙක්.... මිනිහ අර සුද්දව පහුකරගෙන මගෙ ළඟට ඇවිත් අහනව මගේ කාඩ් එක gold card එකක්ද කියල... සුද්දගෙන් ඇහුවෙ නෑ... මිනිහ හිතන්න ඇති සුද්දෙකුට පැටලෙන්න විදිහක් නෑ කියල... මටත් දැන් මේක නිකන් අපහාසයක් වගේ... ඇයි යකෝ මට ඉස්සරහ සීට් එකේ ඉන්න එකාගෙන් අහන්නැතුව.. ඌව පහුකරගෙන ඇවිල්ල මගෙන්ම අහන්නෙ..? මමත් කතාවක් නැතුවම සාක්කුවෙ තිබ්බ කාඩ් එක එලියට අරන් පෙන්නල ආයි සාක්කුවට දාගත්ත...

මම කාඩ් එක පෙන්නුවහම කොන්දොස්තර තැන යන්න හැරුන...

එතකොට සුද්ද අලු පාට regular card එකක් එලියට අරන් පෙන්නල කොන්දොස්තරගෙන් අහනව " I've got this card... am I sitting in wrong class..? ( මගේ ළඟ තියෙන්නෙ මේ කාඩ් එක... මම ඉන්නෙ වැරදි පෙට්ටියෙද... ?) " කියල ...

අනේ අර කොන්දොස්තර අර සුද්දවත් දක්කගෙන අනිත් පෙට්ටියට ගියා...

සුද්දන්න්ට වැරදෙන්නෙ නෑ ය... උගේ වගේ කලු හම තියෙන මට වැරදිලා gold class එකේ වාඩිවෙලා ඉන්නෙය කියල හිතපු ඒ කොන්දොස්තරට එවෙලෙ මම දාපු සාකැස්ටික් හිනාව බලාගන්න කණ්නාඩියක් තිබුනෙ නෑ නොවැ...

-------------------------------------------------------------------

42 comments:

  1. එතකොට ඒ නීතියට අනුව කළි හම තියෙන කට්ටිය තමා ගොඩක් ම වැරදි කරන්නේ. අර සුදු හම තියෙන ඈයෝ වැරදි කරනවා අඩුයි. එහෙම වෙන්ටෑ නීති හැදිලා තියෙන්නේ. හික්ස් :)

    ලංකාවෙත් ඔය ක්‍රමේ තිබ්බා නම් ෂෝක් නේ. ඒ උනාට ඒ ක්‍රමේ එන්න ගොඩක් කල් යයි මයෙ හිතේ. හික්ස් :)

    ReplyDelete
  2. හුඟක් කළු / දුඹුරු අයට තියෙනවා හීනමානයක් තමන්ගේ වර්ගයේ අය තමයි හොර වැඩ කරන්නේ සුදු අය කරන්නේ නෑ කියලා. ඒකයි ඒ.

    ReplyDelete
  3. කතාව සහතික ඇත්ත..සපතේරුගෙ කටේ සපත්තුවක් දාන්න වටිනවා..

    හැබැයි ඔතන මෙහෙම දෙයකුත් තියනවා. ඇත්තටම නීතිය නම් හැමෝටම එකයි. ඒත් මිනිස්සුන්ගෙ ක්‍රියාකාරකම් නිසා නීතිය ක්‍රියාත්මක කරණ අයගෙ මානසිකත්වය ඒ විදියට හැඩ ගැහිලා..

    මෙහේ යුරෝපීයන්ට සාපේක්ෂව ආසියාතිකයන්ගේ හැසිරීම තරමක් කණගාටුදායක බව අවංකවම පිළිගන්නත් වෙනවා.සමහර විට ප්‍රමාණාත්මකව වැඩි වීම නිසා ඒක කැපිලා පේනවා වෙන්න පුළුවන්.ඒත් ඉතින් හැම සුද්දම ඔය ව්දියට ආචාරශීලි නැහැ.

    මගේ බොසාත් රැජිනගෙ රටේ එකෙක්. මිනිහාත් දවසක් මෙට්‍රෝ එකේ ආසාවට ගිහිල්ලා නියමිත සීමාවට වඩා වැඩියෙන් ගිහින් දඩයකුත් කාලා ඇවිත් තිබුනා.

    සපා දන්නවද යුරෝපියයන්ගෙ ආදර්ශ පාඨය ( මේක විහිළුවක්)
    We are here to build
    you are here to survive...

    ReplyDelete
  4. මට නම් ටිකක් විතර හිත හොඳ උනා අර තඩි සුද්දා ඔස්ට්‍රේලියන් විය හැකියැයි කීව හන්දා....:D

    සමහරවිට තව පරම්පරා දෙක, තුනක් යනවිට ඔය තත්වය වෙනස් වෙන්ට ඉඩ තියනවා. මේ පැත්තේ හැදෙන ලමයි කෙලින්ම තමන්ගේ හම මොන පාට උනත් තමනුත් සුද්දෝ කියලා තමා හිතාගන ඉන්නේ. එයාලා කට වහගන ඉන්න ජාතියේ නෙමේ හන්දා, පස්සේ කාලෙක්වත් ඔය විදියට මිනිස්සුන්ට සලකන අය පාඩම් ඉගෙනගනී....:)

    ReplyDelete
  5. මං ඉන්න පැත්තෙ (පර්ත් -බටහිර ඔස්ට්‍රේලියාවෙ) දුවන කෝච්චි වල ඔය පංති බේදය ඇත්තෙම නැහැ, හැමෝටම එක ගාන. විශ්‍රාමිකයන්ට, රැකියාවක් නැති අයට සහ පුර්ණ කාලීන සිසු සිසුවියන්ට පමණක් ඉතාම සහන මිලකට ටිකට් වර්ගයක් තියෙනව. සතියේ දිනවල උදේ 9.00 - හවස 03.00 දක්වාත්, සෙන/ඉරිදා සහ අනෙක් නිමාඩු දිනවල දවස පුරාමත් වයස 65 වැඩි අයට බස් සහ දුම්රිය ගමන නොමිලේ. බස් සහ දුම්රිය ධාවනය රජයෙන්. මෙහෙත් එදිනෙදා දුම්රිය සහ බස් ටිකට් මුදලට සහ ඩෙබිට් කාර්ඩ් එකට ගත හැකි වුනත්, මහජන ප්‍රවාහන සේවයන් හුඟාක් පාවිච්චි කරන අයට "ස්මාර්ට් රයිඩර්" කියල කාර්ඩ් එකක් ගන්න පුළුවන්. "ස්මාර්ට් රයිඩර්" පාවිච්ච් කරන කොට ටිකට් එකේ ගාන 15% ක් අඩුය්. "ස්මාර්ට් රයිඩර්" එකට බැංකුවෙන් කෙලින්ම ඩිරෙක්ට් ඩෙබිට් වෙන්න දාල තිබ්බොත් ටිකට් එකේ ගාන 25% ක්ම අඩුය්.

    ReplyDelete
  6. ඔව් මල්ලි.. මම කිව්ව වගේ මම නම් හිත්න්නෙ වැරදි කරන්නෙත් හොඳ කරන්නෙත් හම නෙමෙයි.. ඒ හමට යටින් ඉන්න මිනිහ..

    ඔව් මේ ක්‍රමේට පොලිම් නෑ.. රස්තියාදුව අඩුයි.. හොර කරන්න බැරිම තරම්... මගේ යාලුවොදෙන්නෙක් ලංකාවෙ ඉඳන් සුමානෙකට ආපු වෙලාවෙ ඔයින් කාඩ් දෙකක් අරන් දුන්න... එකෙක් බස් එකේ වාඩි වුණ ගමන් කියවුනේ අනේ අපිට කවද මෙහෙම බස් සේවයක් ලැබෙයිද කියල...

    ReplyDelete
  7. ආයුබෝවන් කුමාර්.. !

    මගේ පෝස්ට් එක ලියවෙන්න එකම හේතුව තනි පේලියකින් ඔයා පැහැදිලිව කිව්ව..

    ස්තුතියි ආවට..

    ReplyDelete
  8. නීති අකුරටම ක්‍රියාත්මක කිරීම ගැනනම් මෙහෙන් ආදර්ශ ගන්න පුලුවන් හුඟ දෙනෙකුට...

    හැසිරිම් දෙකේ වෙනස නීති පිලිපදින සහ නීතිය බල්ලට ගිය රටවල් වලින් එන හින්ද විය යුතුයි...

    ReplyDelete
  9. // මට නම් ටිකක් විතර හිත හොඳ උනා අර තඩි සුද්දා ඔස්ට්‍රේලියන් විය හැකියැයි කීව හන්දා //

    අනේ... ඔසියො මටනම් හරි හොඳ ජාතියක්...යාලු මිත්‍රයො වරින් වර ඉන්දල තියෙනව මම මාතර වැඩ කරපු කාලෙ ඉඳන්ම... මම අනුමාන කලෙත් ඇක්සෙන්ට් එක හින්ද...

    මම නම් හිතන්නෙ මේ තමුන්ගෙ එවුන් තමා නරක කියන එක මහ හෙනයක් අපිට...

    ReplyDelete
  10. ඕක බන් එක්තරා හීන මානයක් . . .

    සුදු හම තියෙනවනම් උන් පොරවල් කියලා හිතනවා.

    තමන් කරන හොර වැඩ ගැන තමන් දන්න නිසා (හොරෙන් බස් වල එන එක වගේ හෝටල් වලට ගියාම තුවා හොරකම් කරන එක වගේ ඒවා එහෙම ) හිතනවා අනිත් එකාත් තමන්ගේ ජාතියේ කියලා . . .

    අපේ ආසියානු මිනිස්සුන්ගේ මේ හීන දීන මානසිකත්වය කවදා නැති වෙයිද කියලා හිතෙනවා

    ReplyDelete
  11. // මං ඉන්න පැත්තෙ (පර්ත් -බටහිර ඔස්ට්‍රේලියාවෙ) දුවන කෝච්චි වල ඔය පංති බේදය ඇත්තෙම නැහැ //

    එහෙනම් මම ගෙස් කලා හරි.. අර යෝදය ඔසියෙක්ම තමා... ඒකයි පොර නැග්ග තැනම තිබ්බ එකේ ඔහේ වාඩිවෙලා ඉන්න් ඇත්තෙ...

    මේ "නොල්" කාඩ් එකත් එදිනෙදා ටිකට් ගන්නවට වඩා ලාබයි..( මෙහේ නම් කවුරුත් සින්ගල් පාස් ගන්නෙ නැති තරම් ). ඒ වගේම බස් එකටත් කොච්චියටත් ෆෙරි එකටත් පාවිච්චි කරන්න පුලුවන්.. රී ලෝඩ් කරන්න හරි පහසුයි.. ඒ වගේම පාවිච්චි කරන්න හරි පහසුයි... නගින තැනදි කාඩ් එක ටැග් කලහම තමන් කැමති තැනකින් බැහිනකොට ටැග් කලහම අදාල දුරට විතරයි අය වෙන්නෙ...

    ReplyDelete
  12. // අපේ ආසියානු මිනිස්සුන්ගේ මේ හීන දීන මානසිකත්වය කවදා නැති වෙයිද කියලා හිතෙනවා //

    ඔන්න ඔය ගැන ඇතිවුණ කේන්තියටයි මේ කතාව ලිව්වෙ.. නැතුව සුද්දො එක්ක තරහකට නෙමෙයි..

    ReplyDelete
  13. සුද්දෙක්ව චෙක්ර් කළා නං ඔය වැඩේ වෙන්නේ නෑ!

    ReplyDelete
  14. සුද්දන්ගෙත් තියනවද දන්නෙ නෑ... ඉන්ග්ලිෂ් නම් හොඳයි අයිරිෂ් නම් හොඳට චෙක් කරන්න ඕනැ ආදී වශයෙන්...

    ReplyDelete
  15. ලෝකෙ තාම එච්චරම වෙනස් වෙලා නෑ වගේ, නේද?

    ReplyDelete
  16. මට පේන්නෙ දීන කම අපේ කට්ටියගෙ ඇට මිදුලු වලටම කා වැදිල වගේ... ඒව වෙනස් වෙන්න පරම්පරා කීයක් ඕනෙද කියන එකනෙ ගැටළුව..

    ReplyDelete
  17. මොනව උනත් මචං උඹ ඔය කිව්ව ඩිස්ක්‍රිමිනේෂන් එකට අපිට හැමදාම මූන දෙන්න වෙනවා. වැඩ බැරි උනත් සුද්දෙකුට මෙහෙ පටස් ගාල හොඳ ජොබක් හොයාගන්න පුළුවං...! ඒ ජොබ් එකම කරන අපි වගේ ආසියාතිකයන්ට වඩා කීප ගුණයක් වැඩි පඩියකටයි බෙනිෆිට් වලටයි.

    ඩුබායි මෙට්‍රෝ එක කියන්නෙ පුදුම විදිහට පොඩි කාලයක් ඇතුලත ඉතාමත් ජනප්‍රිය වෙච්ච ප්‍රවාහන ක්‍රමයක්. මම වැඩ කරන ඉන්ටර්නෙට් සිටි එක ගාවම මෙට්‍රෝ ස්ටේෂන් එකක් තියෙන නිසා මම සමහර දවස් වලට කාර් එක මෙට්‍රෝ එක පටන් ගන්න තැන (රෂීඩියා) පාක් කරලා මෙට්‍රෝ එකේ ඔෆිස් එනවා.

    උඹ වගේ මමත් රෙගුලර් කාඩ් එකකුයි, ගොල්ඩ් කාඩ් එකකුයි දෙකක් පාවිච්චි කරනවා. උදේට පටන් ගන්න තැනින්ම නගින නිසා සීට් එකක් හම්බ උනත්, ගොඩක් වෙලාවට හවසට රශ් එක වැඩි නිසා මම ගෝල්ඩ් ක්ලාස් එකේ එනවා. හැබැයි මේ වෙනකං කවුරුවත් මගෙන් කාඩ් එක චෙක් කරන්න ඕනෙ කියලා නම් ඉල්ලලා නෑ.

    සාමාන්‍යයෙන් කාර් එකේ එනවාට වඩා පැය භාගයක් වැඩිපුර මෙට්‍රෝ ගමනට වැය වෙන නිසා, ඒ පැය භාගෙ ගෙදරට වෙලා බුදියගෙන කාර් එකේම වැඩට එනවා.

    ඔය මෙට්‍රෝ එක නිසා මට පහු ගිය කාලේ අකරතැබ්බයකුත් උනා..... පස්සෙ දවසක ඒක දාන්නම්...!

    ReplyDelete
  18. කියල වැඩක් නෑ මචං..

    උඹල වගේ සහතික වලින් පෙන්නන්න පුලුවන් සුදුසුකම් තියෙන ෆීල්ඩ් වල එහෙම කොට අපි වගේ ඉන්ටවීව් එකකදි අපිවම ඉහලම මිලට විකුණගන්න හැකිවීම එකම සුදුසුකම වෙන ෆීල්ඩ් එකක... මදිවට ඉන්දියානුවන්ට අයිති කොම්පැනි වල ... හිතල බලන්නකො... අපි වගේ මිඩ්ල් මැනේජ්මන්ට් එකට නෙමෙයි.. ජී එම් .. සී ඊ ඕ ලෙවෙල් එකට යනකම් ඕක තියෙනව මෙහේ..

    ReplyDelete
  19. හරි සෝක් කතාව.....

    ReplyDelete
  20. කාලයක් ගියාම මෙහෙටත් ඕවගේ ක්‍රමයක් ඒවි. දැනටත් මෙහෙ හයිවේ එහෙමත් තියෙනවනේ.

    ReplyDelete
  21. මටත් සිංගප්පූරුවේ මෙට්‍රෝ එක ගැන අත්දැකීම් තියෙනවා. මං දන්න තරමින් එහෙ නං ඔය Gold Class කියල එකක් නැහැ. හඳුන්වන්නේ MRT කියලයි. අර කිව්ව වගේ single trips වලට වෙනම කාඩ් එකකුයි සීසන් එක වගේ පාවිච්චි කරන්න වෙනම එකකුයි තියෙනවා. යාළුවො හුඟ දෙනෙක් දන්නේ නැතුවත් ඇති, ඉන්දියාවේ දිල්ලියෙත් දැන් මෙට්‍රෝ සර්විස් එකක් තියෙනවා. මම සැරයක් ගියා. හොඳ සේවයක්. ලංකාවටත් මෙට්‍රෝ සේවයක් එන්ඩ අපි හිතන තරන්ම කාලයක් ගතවෙන එකක් නැහැ. මට නං ඒක විශ්වාසයි.

    ReplyDelete
  22. අනේ හරි කනගාටුදායකයි. මට මේ දැන් අහන්න ලැබුනේ. ඔබතුමාගේ බ්ලොග් එකේ සටහන් කලාට අමනාප වෙන්න එපා. කේ. ජයතිලක මහත්තය අභාවප්‍රාප්ත වෙලා.

    ReplyDelete
  23. නිහඬව ඉඳගෙන සිංහල නවකතාවට කෙටි කතාවට විශිෂ්ඨ දායකත්වයක් දුන් එතුමාට නිවන් සුව.. !

    ReplyDelete
  24. අනිවා මල්ලි රට ගොඩගන්න නම් පාරවල් ටික ගොඩගන්න ඕනෙ...

    ReplyDelete
  25. අපොයි ඉන්දියාවෙ දුම් රිය ගමනාගමනය හරි ජනප්‍රියයිනෙ... ගිය අවුරුද්ද පුර ඩුබායි මෙට්‍රෝ එකේ මගීන් මිලියන් 30 ක් ගමන් කරනකොට දිල්ලි මෙට්‍රෝ එකේ මගීන්මිලියන් 270 ක් ගමන් කරල තියෙනව ලු.

    ReplyDelete
  26. අපෝ ඕක කොහෙත් වෙනවා සපතේරු . අපිත් ඔව්වට දුටු තැන සටනේ . එහෙම කොහොමද ඇයි අපි කළුද නේද .

    කේ ජයතිලක මහතාට නිවන් සුව පතමු

    ReplyDelete
  27. කල්ලන්ට යන යන තැන අසාධාරේනේමයි වෙන්නේ නේද?
    මෙවනි ආකල්ප කොහොම ඇති උනාද මන්ද

    ReplyDelete
  28. වැඩි දෙනෙක් වහලෙ උඩ....

    ReplyDelete
  29. මෙන්න බඩු .. ලොල් ! හොඳම එක..

    ආරක්ෂාකාරී සුවපහසු ගමනාගමනය... !

    ReplyDelete
  30. කිඹුල නම් කෑවත් කමක් නෑ කියමුකො.. කොහිල කටුත් ඇනෙන එක නොවැ ඉවසන්ට බැරි..

    ReplyDelete
  31. ඔව් ඔව් හැකි පමනින් සටන් කල යුතුමැයි... මේ සටහනත් ඒ වගේ එකක් තමයි..

    ReplyDelete
  32. ඇඩ් ගැන හිත කරදර කරගන්න එපා. ඔයාට සටහන් නොමිලේ දාන්න ඉඩ දෙනවාට ඔයා එයාලට ඇඩ් එකක් දා ගන්න ඉඩ දුන්නම මොකෝ?!!

    වැඩියෙන් දකින පොදු හැදියාවකින් එක පුද්ගලයෙක් මනින්න 'හුරු වී' තිබීම මිනිස් ස්වභාවයක්. ඒක හුරැ වීමක් නිසා ම නැති කරගන්නත් පුළුවන් හැබැයි!!

    මාත්, සුදු අප්පුහාමිත්, දියණියත් ජර්මනියේ පළමු පංතියේ (රත්තරන් ක්ලාස් එහෙ නෑ නොවැ) යද්දී අපි ළඟට ආපු ජර්මන් කොන්දොස්තරයත් අනිත් අයගෙන් ඉල්ලපු නැති ටිකට් අපෙන් ඉල්ලුවා. සුද්දොත් එහෙම බලනවා. අනිත් එක තමයි සුදු අප්පුහාමි එහෙ වාසය කරන කාලේ ඇමෙරිකන් භටයෝ, විදේශික සිසුන් යනාදීන් ජර්මන් කෝච්චි වල හොරෙන් යන්න පුරුදු වෙලා හිටියාලු, අල්ල ගත්තම විතරක් දඩ ගෙවන එක වාසියි කියල. ඊට පස්සෙ තමයි නිතර ටිකට් චෙක් කරන්න පටන් ගෙන තියන්නෙ.

    ReplyDelete
  33. අරුණි අක්කේ...

    හුඟාක් ස්තුතියි මේ ඇඩ් පලහිලව්ව ගැන අදහසක් දුන්නාට...

    "Nothing for Nothing " කියල කතාවකුත් තියෙනවානේ...

    ලංකාවෙත් ඔය ඇල්ලුවොත් ගෙවන්න ඕනකරන ගාන අතේ සල්ලි තියාගෙන හොරෙන් යන ඔෆිස් කට්ටිය හෙම ඉන්නව කියල අහල තියෙනව... ලංකාවෙ කෝච්චි ටිකට් මිලත් දඩ මුදලත් අනුව මට මතක හැටියට මාතර කොළඹ යන කෙනෙකුට දවස් දහයකට සැරයක් දඩ ගෙව්වත් ලාබයි...

    ReplyDelete
  34. සුදු = පිරිසිඳු
    පිරිසිඳු = හොඳ

    එමනිසා සුදු = හොඳ..


    ඔන්න අපි ඉස්සර හිතාපු හා තව ටික කාලයක් හිතන විදිය.

    ReplyDelete
  35. ආ සපතේරු උන්නැහේ රැජින ගේ රටේ ද? මම අහල තියන විදියට එහෙ සුද්දොත් ටිකක් ආඩම්බරයි ලු...එහෙමද? කළු(ආසියානු) අයනම් ඉතින් කොහෙත් වෙනසක් නෑ මම හිතන්නේ...

    ReplyDelete
  36. මොනවා උනත් සුද්දා නං හොඳ සුද්දෙක්. වැඩේ නෝන්ඩි වෙන්න කලිං හොඩ දාගත්තනේ... අපේ කළු හං කාරයෝ අහංකාර කමට එහෙම කොරන එකක් නෑ කියලා අර කළු මල්ලිට හිතුණද දන්නෑ නේද?

    ප/ලි
    අදහස් ටික බැලුවාම නං අපි ගැන දුකත් හිතෙනවා... මොකද කියන්නේ කට්ටියම ලංකාවට ආපහු එමුද..? අපි ඉතිං ඔය තියන හැටියට සලකඤ්ඤං...

    ReplyDelete
  37. කියන්න ඕන ටික දුමිය කියල තීන්නෙ. මම මේ දවස්වල ටෝච් ගහනව. අපේ සුද්දට පාර පේන්න. අනේ මුංගෙ හම විතරයි මචං.
    හොඳ සුද්දො තමංගෙ රටේ ගේම ගහගන්නව. එහෙම බැරි හාල් පාරුවො මෙහෙ ඇවිත් අපෙන් ගොඩ යනව. උන්ට මස් අපිට කටු!

    ReplyDelete
  38. අපෝ මට පේන්නම බැරි වර්ග වාදය. කොහෙත් ඔහොම තමයි. මේ අනිත් කොණේ යුද්ධෙ ඉවර උන කාලේ ඇවිත් වැඩකරපු NGO විදේශ වෛද්‍යවරුන්ට තිබුනු සැලකිල්ල දැක්කම අපිටත් හිනා ගියා. ඒ අය ඉස්සරහ දෙකට තුනට හතර නැමෙනවා සමහර රජයේ නිලධාරීන්. හැමෝම මනූස්ස ජාතියේ කියලා හැමෝටම එක විදිහට සලකන්න ඇයි බැරි. හොඳ ලිපියක් !

    ReplyDelete
  39. උස් තැන් දැක හැකිලෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ කියන කවියත් මෙතනට ටිකක් අදාළ කරගන්න පුලුවන් :)

    ReplyDelete
  40. "...හෝටල් වලට ගියාම තුවා හොරකම් කරන එක වගේ ඒවා එහෙම..."


    I once went to a conference in Macau (An SAR of China like Hong-Kong). In my room at the hotel I was searching for some stationary and I found a folder that contained a price list for every item in the room including that folder. It even contained prices for practically immovable items like bath tub, ceiling fan, ect. It seems stealing gets worse when we move towards east....

    ReplyDelete