Wednesday, September 14, 2011

ඇයි සුද්දන්ට ටැපලෙන්නෙ නැද්ද...?

"මේ දිනවල මගේ බ්ලොග් සටහනට යටින් Advert එකක් ප්‍රදර්ශණය වීමක් සිදුවේ... මෙය මගේ සම්බන්ධයක් ඇතුව සිදුවන්නක් නොවන වග කියවන ඔබ හැමට දැනුම් දෙමි... මට මෙය නිවැරදි කර ගැනීමට දැනුමක් නැති අතර හැකි ඉක්මනින් හිතවතුන්ගේ උපදෙස් ලැබ මෙය නිවැරදි කර ගැනීමට උත්සාහ කරමි...
- සපතේරු "





තවදුරටත් මුකුත් ලියන්නෙ නැතුව හිටියොත් මේ අමාරුවෙන් පටන් ගත්තු බ්ලොග් කටුව ආසානාසි වීලා යයි කියල හිතෙන නිසා පෝස්ට් එකක් ලියන්න පටන් ගත්ත... ඒත් ඒක ඉවර කරන්න කලින්.. ඊයෙ සිද්ධවෙච්ච දෙයක් නිසා පොඩි ආගිය කතාවක් ඉස්සෙල්ල ලියල දාන්න හිතුව...මේක බොහොම පොඩි සිද්ධියක්...

ඒත් සිද්ධිය කිය්න්න කලින් පැහැදිලි කරන්න පොඩි දෙයක් තියෙනව... මොකද මාතෘකාව දැක්කහම වැරදි අදහසක් ඇතිවෙන්න පුළුවන් නිසා... ඒ තමයි මම කිසිම අන්දමකින් ජාතිවාදී අදහස් ඇති කෙනෙක් නොවන වග... මම ශ්‍රී ලාංකිකයෙක් වීම ගැන ආඩම්බර වන අතර අනිකුත් සියල්ලන්ටම ඒසේ ඔවුන්ගේ ජාතිය ගැන ආඩම්බර වීමට ඇති ඇයිතිය හිස් මුදුනින් පිළිගන්න බව කියන්න ඕනෙ...

ඒක නිසා කිසිවෙක් සුද්දෙක් වුණා කිය මගේ කිසිම වෙනසක් නැති බවත්, පල් වැඩ කරන සුද්දන් වගේම පල් වැඩ කරන ලාංකිකයිනුත් රජ වැඩ කරන සුද්දන් වගේම රජ වැඩ කරන ලාංකිකයිනුත් ඇති බවත් ඔවුන් කරන් වැඩ අනුව පල් සුද්දෙක් හෝ පල් ලාංකිකයෙක් හැටියට සලකන බවත් කියන්නම ඕනෙ.

මෙච්චර ලිව්වෙ එක්සත් ජාතීන්ගේ සංවිධානය වගේ ( විවිධ ජාතීන්ට අයත් යන අර්ථයෙන් ) ටීම් එකක් එක්ක වැඩකරන මං ගැන අනේ වැරදි අදහසක් ඇතිකරගන්න එක අපරාදෙනෙ කියල..

මම මේක සඳරුගෙ කොමෙන්ටුවකත් කිව්ව .... මගෙ ටීම් එකේ ළමයි විසිපහයි ඉන්නෙ...හැබැයි.... ශ්‍රී ලාංකික , උතුරු ඉන්දියානු , මලයාලි , නේපාලි , භූතානි , කෙන්යානු , ඊජිප්තු , පිලිපීන , මියන්මාර ( බුරුම ) සහ පිරිසිදු කරන සහායක බංගලි.... ඔක්කොම ඉන්නව .... කොහොමද......

එකම ජාතියෙ, බොහෝ විට එකම ආගමේ පොඩි කණ්ඩායමක් එක්ක ලංකාවෙ අපි වැඩකරන්න ගියාම තියෙන රඟේ දන්න කෙනෙකුට හිතාගන්න පුලුවන් ඇති මම මොකක්ද කියන්නෙ කියල... මම මේ ඔක්කොම කියන්නෙ ඒ වගේ ටීම් එකක් සමගියෙන් තියාගෙන... කොඳු කැඩෙන අලෙවි ඉලක්ක ( ගිය මාසෙ ඔය කට්ටිය එකතුවෙලා සපත්තු කුට්ටම් 17,000ක් ! විකිණුව ) ළඟා කරගන්න යොමු කරවන්න බෑ ; මම ඇත්තටම හැමෝම ගැන එකවගේ හිතන්නෙ නැත්නම්...

මෙන්න කතාව...


ඒ ගමන තව පොඩි විස්තරයක් කියන්න වෙනව... ඩුබායි මෙට්‍රෝ දුම්රිය ගැන.. ඩුබායි මෙට්‍රෝ දුම්රියත් ( වචනාර්ථයෙන් දුම්රිය කිව්වට රෝද වල ඇති මෝටර වලට රේල් පීලි දිගේ ලැබෙන විදුලියෙන් ක්‍රියාකරන කිසිම දුමක් නැති විදුලි කෝච්චියකි ) අනිත් ඕනෑම මෙට්‍රෝ දුම්රියක් වගේ... නගරෙ වාහන තදබදය අඩු කරන්න පොළොව උඩින් සහ යටින් සාදා ඇති මාර්ග වල දුවන ළඟ ළඟ නැවතුම්පොලවල් ඇති දුම්රිය සේවයක්... ලංකාවෙ හරි ඉන්දියාවෙ හරි විතරක් දුම්රියේ ගිහින් තියෙන කෙනෙකුට පිළිගන්න බැරි තරම් ඇතුළත,ආසන ආදිය පිරිසිදුයි...හැබැයි චුයින්ගම් එකක් වත් හැපුවොත් දඩ... එහෙමයි ඒ පිරිසිදුකම ආරක්ෂා කරගෙන තියෙන්නෙ...

කලින් කිව්ව වගේ කෙටි ගමන් වලට බොහෝ දෙනෙක් පාවිච්චි කරන් නිසා ආසන හුඟාක් සුවපහසු නෑ... අවශ්‍යම කෙනෙකුට යන්න එක පෙට්ටියක් විතර තියෙනව gold class කියල හොඳ සුවපහසු ආසන සහිත... නමුත් ඒකෙ ගමන් ගාස්තුව සාමාන්‍ය පන්තියෙ වගේ තුන් ගුණයක් විතර වෙනව...

තව පොඩි දෙයක්.. ගමන් ගාස්තුව ගෙවන්නෙ කලින් ලබාගත් ඉලෙක්ට්‍රොනික් කාඩ්පතකින්... මෙහේ සාමාන්‍ය පන්තියට අළු පාට කාඩ් පතකුත් gold class එකට රන්වන් කාඩ් පතකුත් විදිහට කාඩ් පත් වර්ග දෙකක් තියෙනව...

ඔය උඩ පින්තූරෙ තියෙන්නෙ ඒ කාඩ් තමා... අනිත් නිල් පාට කාඩ් එක වැඩිහිටි පුරවැසියන්ටත් ශිෂ්‍යයින්ටත් ලබාදෙන අඩු ගාස්තු අයවෙන එකක්, රතු පාට කාඩ් එක අපි ලංකාවෙදි කෝච්චි ටිකට් ගන්නව වගේ එක ගමනකට ගන්න කඩදාසි කාඩ් එකක්...

ඒ වගේම මෙහේ මෙට්‍රෝ දුම්රිය සේවය විතරක් නෙමෙයි බස් ගමනාගමනයත් පාලනය වෙන්නෙ එකම ආයතනයකින් නිසා ඔය කාඩ්පත බස් එකටත් පාව්ච්චි කල හැකියි..

මමත් නිතරම පාවිච්චි කරන්නෙ අළුපාට කාඩ්පතක් ... සාමාන්‍ය ගමන් බිමන් වලට ඉතාම ලාභ පහසු ක්‍රමය නිසා... හිටගෙන යන්න වුනත් විනාඩි 10 ක 15 ක ගමන් නිසා අපහසුවක් නැහැ... ඒත් ටික දුරක් යන්න වෙන ඒ වගේම ගමනෙන් පසු වැදගත් රැස්වීමකට සහභාගි වෙන්න තියෙන වගේ වෙලාවක වෙහෙසකර මුහුණකින් යුතුව යන්න කැමති නැති නිසා ඒ වගේ ගමන් වලදි gold class එකේ යන්න පාවිච්චි කරන gold card එකකුත් නිතර මගෙ සාක්කුවෙ තියෙනව...

.....ඊයේ ඒ වගේ ගමනක් යන්න ඕන වෙලා මම gold card එක tag කරල gold class එකට ගොඩ වුනා...

මේ මෙට්‍රෝ කෝච්චියට රියදුරෙක් නැහැ... පරිඝණක ගත කරපු මධ්‍යගත පාලනයක් තියෙන්නෙ... ඒත් කොන්දොස්තරල කියන්න පුළුවන් නිලධාරි දෙතුන් දෙනෙක් ඉන්නව.. එයාල තමා මගීන් හසුරවන්නෙ..

සාමාන්‍ය ගාස්තු වලට වඩා තුන් ගුණයක් විතර ගනන් නිසා ඒ පෙට්ටියෙ වැඩිපුර සෙනග නෑ කොයි වෙලාවකවත්... එවෙලෙත් නැග්ගෙ තුන් හතර දෙනයි... මට පස්සෙ නැග්ග තඩි සුද්දෙක්... ( ඕස්ට්‍රේලියන් විය හැකියි ) ... දැන් සුද්ද ඉස්සරහම ආසනයක.. ඊලඟට මම... අර කලින් කියපු කොන්දොස්තරලගෙ සිරිතක් තියෙනව gold class එකේ ඉන්න අයගෙ කාඩ් බලනව ඇත්තටම gold card ද කියල... දඩ ගහන්න නෙමෙයි... හරි පෙට්ටියට යවන්න.... ( චෙකර්ල වෙනම ඉන්නව දඩ ගහන්න )...

එවෙලෙ හිටියෙ මලයාලි හරි අපේ කෙනෙක් හරි ( සිංහල නම් නෙමෙයි ) කියල හිතන්න පුලුවන් කොන්දොස්තර කෙනෙක්.... මිනිහ අර සුද්දව පහුකරගෙන මගෙ ළඟට ඇවිත් අහනව මගේ කාඩ් එක gold card එකක්ද කියල... සුද්දගෙන් ඇහුවෙ නෑ... මිනිහ හිතන්න ඇති සුද්දෙකුට පැටලෙන්න විදිහක් නෑ කියල... මටත් දැන් මේක නිකන් අපහාසයක් වගේ... ඇයි යකෝ මට ඉස්සරහ සීට් එකේ ඉන්න එකාගෙන් අහන්නැතුව.. ඌව පහුකරගෙන ඇවිල්ල මගෙන්ම අහන්නෙ..? මමත් කතාවක් නැතුවම සාක්කුවෙ තිබ්බ කාඩ් එක එලියට අරන් පෙන්නල ආයි සාක්කුවට දාගත්ත...

මම කාඩ් එක පෙන්නුවහම කොන්දොස්තර තැන යන්න හැරුන...

එතකොට සුද්ද අලු පාට regular card එකක් එලියට අරන් පෙන්නල කොන්දොස්තරගෙන් අහනව " I've got this card... am I sitting in wrong class..? ( මගේ ළඟ තියෙන්නෙ මේ කාඩ් එක... මම ඉන්නෙ වැරදි පෙට්ටියෙද... ?) " කියල ...

අනේ අර කොන්දොස්තර අර සුද්දවත් දක්කගෙන අනිත් පෙට්ටියට ගියා...

සුද්දන්න්ට වැරදෙන්නෙ නෑ ය... උගේ වගේ කලු හම තියෙන මට වැරදිලා gold class එකේ වාඩිවෙලා ඉන්නෙය කියල හිතපු ඒ කොන්දොස්තරට එවෙලෙ මම දාපු සාකැස්ටික් හිනාව බලාගන්න කණ්නාඩියක් තිබුනෙ නෑ නොවැ...

-------------------------------------------------------------------

Tuesday, August 16, 2011

මේ ගීතය ඔබටත් මග හැරුනාද ?

මම සිංහල බ්ලොග් අවකාශයට ටිකක් අලුත්... ඒක නිසා මේ කරන්ට හදන වැඩේ හරිද වැරදිද කියල හරියටම දන්නෙ නෑ...

කපුටන්ගෙ සිරිතක් තියෙනවලු කෑමක් හම්බවුනාම කා..ක් කා..ක් ගාල කට්ටියට දැනුම් දෙන... අන්න ඒ වගේ වැඩක් කරන්න හදන්නෙ..

අද දාන්නෙ පෝස්ට් එකක් නෙමෙයි ලින්ක් එකක්...

සිද්ධිය මේකයි...

මම බ්ලොග් ලියන්න හුඟක් කලින් කියවපු බ්ලොග් එකක් තියෙනව "ජනූගෙ සටහන්" කියල.. ටික දවසක් ඕක මගඇරිල තිබිල... ළඟදි ආයිත් කියවන්න ගත්ත... ඊයෙ දාල තියෙන පෝස්ට් එකේ තියෙනව අමරදේවයන්ගෙ හරිම ලස්සන ගීතයක්...

මේ කරන දේ කරන්න හේතුව වුනේ ඒ ගීතය.. හේතුව මේකයි.. මම කවදාවත් ඒ ගීතය මීට කලින් අහල නෑ...

මගෙ බ්ලොග් එක බලන්නෙ විස්සක් තිහක් වුනත් ඒ අතරින් ජානුගෙ පෝස්ට් එක මිස් වුන දෙතුන් දෙනෙක් හරි ඉන්නවනම් ඒ අයත් එක්ක මේක බෙදාගන්න හිතුව...

මම මේකට ජනනි හංසකිංකිණි ගෙන් අවසර ගත්තෙ නෑ.. බැන්නොත් ගලවනව කියල හිතාගෙන දාන්නෙ...

ගීතය මේකයි ..."මා තනි කර දා පාවෙන ඔබගේ ජීවන නෞකා නොබිඳේවා…!!"



Then.. without further ado......





මෙතැනින් ජනනි ගේ පෝස්ට් එකට ගිහින් ගීතයත් රස විඳල කොමෙන්ටුවක් හෙම දාල යන්ට..

ප.ලි.

ලිව්වට පස්සෙ හිතුන මේ වැඩේ ටිකක් අලියගෙයි කූඹියගෙයි කතාව වගෙ එකක් කියල .. ඒත් කමක් නෑ..

Wednesday, August 10, 2011

ඔබ කවුද... ?

රාමදාන් කාලය නිසා තරමක විවේකයක් ලැබේය, ඒක නිසා ටිකක් වැඩිපුර ලියන්න ලැබේය කියල හිතාගෙන හිටියත් ඇත්තෙන්ම ලැබුණෙ ඉතාම අවිවේකී කාලයක්... මේ මාසෙ ඇතුළත රුපියල් කෝටි හයක විතර සපත්තු අපේ ආදරණීය පාරිභෝගිකයන්ට අලෙවිකිරීමේ ඉලක්කයක් ලැබුණ..( ලේසි වැඩක් කියල හිතන්ට එපා ඩුබායි වල වුනත්..) ඉතින් ගතින් තරමක විවේකයක් තිබුණත් හිතින් " full time engaged in business ".

ඒත් අමාරුවෙන් අටවගත්තු බ්ලොග් එක පාළුවට යවලත් බැරි නිසා කාටත් ප්‍රයෝජනවත් විය හැකි පුංචි අදහසක් සටහන් කරන්න හිතුව... සුබස වත් පාවිච්චි නොකර ලින නිසා අකුරු විනිසෙහි නොයෙක් අඩුපාඩු තිබිය හැකියි..



පහල ඡායාරූපයේ ඉන්න කෙනාව දන්නවද... ?





මේ ඉන්නෙ Les Brown. ඔබ ඔහුව දැනටමත් දන්නවනම් මම කියන්න යන කතාව ඔබ දන්නව ඇති... ඒත් කමක් නෑ.. ආපහු කියවමු.. අපතෙ යන එකක් නෑ...

ඇයි මම Les Brown ගැන ලියන්නෙ.. ?

කාටත් වගේ තියෙනවනෙ අවශ්‍ය තැන් වලදි පාවිච්චි කරන නොයෙක් කියමන්... (Quotes).ඕව ඉතින් අපි කොහෙන් හරි කියවල හරි කවුරු හරි කියනව ඇහිල හරි මතක තියාගත්තු ඒවනෙ... තමුන්ගෙම කියමන් ඇති අයත් නැතුව නොවෙයි... ( ඇයි හත්තිලව්වෙ ඔය කියමන් මුලින්ම කියපු උදවිය.. ). මමත් ඒ වගේ පාවිච්චි කරන quotes තියෙනව...

මම පාව්ච්චි කරන, ඉතාම වැදගත්ය කියල මට හිතෙන, එක කියමනක් මම අහල තියෙන්නෙ ඔන්න ඔය පින්තූරෙ ඉන්න Les Brown ගෙන් .

ඔහු ප්‍රසිද්ධ දේශකයෙක්... ( motivational speaker කෙනෙක් )... අපි කියමුකො උනන්දු කරවීමේ දේශකයෙක් කියල... විශාල මුදලක් අය කරන, ප්‍රසිද්ධ සමාගම් , ආයතන වලට නොයෙකුත් කන්ඩායම් වලට සාර්ථකත්වය ළඟාකරගැනීම ගැන දේශන පවත්වන කෙනෙක්...

ඔහු ඒ අංශයෙන් නොයෙකුත් ගෞරව සම්මාන වලට පාත්‍ර වෙච්ච කෙනෙක්... National Speakers Association වෙතින් පිදෙන ඉහලම ගෞරව සම්මානයත්, Toastmasters international වෙතින් ඇමරිකාවෙ හොඳම දේශකයන් පස් දෙනාගෙන් කෙනෙක් හැටියටත්, ඒ වගේම චිකාගෝ Emmy Award එකකුත් ලබාගෙන තියෙනව..

මම ඔය කියමන පාවිච්චි කලාට, ඕක කියල තියෙන්නෙ Les Brown ය කියල දැනගෙන හිටියට ඕකෙ නිධාන කථාව දැනගෙන හිටියෙ නෑ... ළඟදි දවසක ප්‍රබෝධ් ට්‍රෙහාන් කියල ඉන්දිය ජාතික මිත්‍රයෙක් මට ඔය කතාව කිව්වෙ...

ඒ කතාව මේකයි......

Les Brown ඉතාම දුප්පත් පසුබිමකින් එන කෙනෙක්... ඉපදිලා සති දෙකකින් ඔහුව දරුකමට හදාගන්න අරන් තියෙනව.. ඒත් කමකරු පවුලක කාන්තාවක් විසින්... කොහොම හරි ඔහුව පාසැලට ඇතුලත් කරල තියෙන මේ කාන්තාව.. ඒත් ඔහු පස්වෙනි ශ්‍රේණිය දක්වා ගියාට පස්සෙ ඔහු අධ්‍යාපනය ලැබිය හැකි, ඒත් දුර්වල මානසික තත්වයක් ඇති (educable mentally retard) ළමයෙක් හැටියට හඳුන්වල ඔහුව ශ්‍රේණියක් පහලට දාල විශේෂ පංතියකට දාල තියෙනව.. එතැන් ඉඳන් හැමෝම ඔහුට සලකල තියෙන්නෙ මැට්ටෙක් හැටියට... මේ සිදුවීම ඔහුගෙ හිතට වැදිල.. ඔහුත් මම "වැඩ බැරි" කෙනෙක්ය කියන මානසික මට්ටමේම ඉඳල තියෙනව..

ඔය අතරෙදි තමයි Les ගෙ ජීවිතය වෙනස් කරපු කියමනක් ඔහුට අහන්න ලැබිල තියෙන්නෙ...

දවසක් ඔහු තමගෙ යාලුවෙක් මුණගැහෙන්න ඒ යාලුවගෙ පන්තියට ගිහින් වාඩි වෙලා ඉඳල තියෙනව.. ඒ අතරෙ ඒ පන්තියට උගන්වන ගුරුතුමා ඇවිත්... ඔහුට දැනිල නැහැ Les මේ පන්තියෙ කෙනෙක් නොවෙන බව... ඔහු යම් ක්‍රියාකාරකමක් දීල ඒක කලු ලෑල්ලෙ කරන්න කියල Les ට කියල තියෙනව.. Les කිව්වලු මට බැහැ කියල.. ගුරුතුමා ඇහුවලු ඇයි බෑ කියන්නෙ කියල... Les කිව්වලු මම මේ පන්තියෙ නෙමෙයි.. මම වැඩ බැරි පන්තියෙ ළමයෙක් ඒකයි මට බැරි කියල... එවෙලෙ ඒ ගුරුතුමා කියපු කියමන තමයි.. Les ගෙ හිත වෙනස් කරල ඉදිරියටම ගිහිල්ල අද ඔහු ඉන්න සාර්ථක තත්වෙට එන්න උදවු වෙලා තියෙන්නෙ... ඒ කියමන තමයි අද ඔහු Quote එකක් හැටියට පාවිච්චි කරන්නෙ..

මම මගෙ බ්ලොග් එකෙත් ගෙදර හදපු බැනර් එකක් වගේ එල්ලල තියෙන්නෙත් ඔය කියමන තමයි...

Les Brown ට ඔහුගෙ යාලුවගෙ පංතියෙ ගුරුතුමා කියපු දේ මේකයි...

Someone's Opinion Of You Doesn't Have To Become Your Reality ( ඔබ ගැන යම් කෙනෙකුගේ මතය, ඔබගේ ජීවිතයේ යතාර්ථය විය යුතු නැත..)







මට මේ වෙලාවෙ තව පුංචි කතාවක් මතක් වුනා... මේ දවස්වල පාසැල් නිවාඩු කාලය නිසා කුඩා දරුවන්ට ආදර්ශමත් කතන්දර අරන් ඒව චිත්‍ර , පුංචි අනුරූ වගේ දේවල් ඇසුරෙන් සකස් කරල පුංචි කුටි වල ප්‍රදර්ශනය කරල තියෙනව අපේ Shop එක තියෙන Mall එකේ... මේ කතාව දැක්කෙ ඒ එකක..

ඒ කතාව මේකයි......


ගෙම්බො රංචුවක් කැලයක් මැදින් ගමනක් යනව.. එක පාරටම මහ විසාල ගැඹුරු වලක් තිබිල ඕකට ගෙම්බො දෙන්නෙක් වැටෙනව... මේ දෙන්න ඉතින් බය වෙලා ... මේකෙන් උඩට යන්නෙ කොහොමද කියල උඩ පනින්න බලනව.. අර උඩ ඉන්න ගෙම්බො කට්ටිය අඬු පඬු වීසි කර කර කෑ ගහනව ." අපිට උඹල ගැන දුකා..යී.. ඒත් මහන්සි වෙන්න එපා... උඹලට මේකෙන් උඩට එන්න බෑ...ඈ.." කියල.. මේක ඇහිල අර උඩ පනින්න ගත්ත එක ගෙම්බෙක් බයටම පපුව ගැහිල මැරිල වල ඇතුලටම වැටෙනව... අනිත් ගෙම්බ මේ කෑ ගගහ දඟලන ගෙම්බො ටික දිහා බල බලා පුළුවන් උපරිම වීරිය දාල පැනල උඩට එනව... අනිත් ගෙම්බන්ට පුදුමයි ... අපි මෙච්චර කෑ ගහද්දිත් මූ ගානකටවත් නොගෙන ගොඩ ආවනෙ කියල...

රහස මොකක්ද දන්නවද...
.
.
.
.
.
.
.
ඒ ගෙම්බ බිහිරියි...
ඌ හිතල තියෙන්නෙ අර කට්ටිය උඩ ඉඳන් අඬු වන වනා චියර් කරනව කියල...


පින්තූර ගත්තෙ මෙතැනින්..
http://www.bigbrothercj.com/
http://dimdima.com