
ටික දවසකින් මොකුත් ලියන්න බැරිවුණා.. කාලය තමා උදැල්ල දාන්නෙ... මොකදැ කරන්නෙ... දැන් හිතෙනව මේ ලිවිල්ල නවත්තල දාල, අපේ ලකී,ගිම්හානි , ඔබා, බුරෝ ල වගේ බ්ලොග් කියවන්නයි ලියන අය දිරිමත් කරන්නයි පටන් ගත්තනම් හොඳයි කියල... මගෙ බ්ලොග් එකේ ලියපු පෝස්ට් දෙක තුන කියවල බලද්දි නිකම් monotonous ගතියක් මට තේරෙනව... ඒත් මොකදැ කරන්නේ... මම පටන් ගත්තෙම මට මතක හැටියට පරණ දේවල් ලියන්ඩම නොවැ... බලමුකො ඉස්සරහට බැරි වැඩක්වත් කරල පොඩි චේන්ජ් එකක් කරන්න...
අදත් කියන්න තියෙන්නෙ ඇහුණු කතාවක්...
මේක හරිම දුක හිතෙන කතාවක්... කාටහරි කියන්න පුළුවන් නෙගෙටිව් කතාවක් කියලත්... මක් කරන්නද .. අපි ඉන්නෙ මේ මහපොළොවෙ නොවැ... හැමදේම පොසිටිව් විදිහට ඉවර වෙනවනම් හොඳා තමා...ඒත් හැමවිටම එහෙම නෙවෙන බවනොවැ ඇත්ත....
මට මේ කතාව කිව්වෙ සංචාරක මගපෙන්වන්නෙක්... මිනිහගෙ නම තවාන්.... මුණ ගැහුණෙ තායිලන්තෙදි... මිනිහ කියපු විදිහට තායි බාෂාවෙන් තවාන් කියන්නෙ සූර්යයා කියන එක ලු... සංචාරක මගපෙන්වන්නො ( සමහර ) ඉතින් ඉර හඳ උලා කාපු ,වඳුරන්ගෙන් බණ අහල ජේතවනාරාමෙට ගලුත් ගහල ආපු උන් හින්ද මිනිහ බොරුවක් කිව්වද දන්නෙ නෑ... තවාන් කියන්නෙ හඳටද දන්නෙත් නෑ...
තවාන් හැම තිස්සෙම හිනාවෙලා ඉන්න , හරිම අහිංසක පෙනුමක් තියෙන කෙනෙක්. සාමාන්‍ය තායි ජාතිකයන්ට වඩා තරමක් උස මහත ශරීරයක් තමයි තිබුණෙ.... නමුත් මිනිහ මාත් එක්ක හිනාවුන හැම වෙලාව්කම මිනිහගෙ හිනාවෙ මොකක් හරි වෙහෙසක් වගෙ දෙයක් හැංගිලා තියෙනව වගේ කියල මට හිතුණ...
දවසක් හැන්දෑවෙ අපි හිටියෙ Pattaya වෙරළෙ..[ තායි සංචාරයේ මතක වෙනම.. පස්සෙ වෙලාවක..].කට්ටිය ජෙට් ස්කී පදින්න ලෑස්ති වුණා...මම ඉස්සෙලම පටන් ගත්ත සෙට් එකේ... පැය භාගයක් විතර පැදල මම ගොඩට ආව... ඇවිත් එතන තිබුණු බංකු කොටයක් උඩ වාඩිවුණේ මුහුද දිහා ටිකක් බලා ඉන්න... එහකොටයි මම දැක්කෙ අපිව මෙතෙන්ට එක්ක ආපු තවාන් වැල්ලෙ වාඩි වෙලා මුහුද දිහා බලං ඉන්නව...
මමත් එතනට යද්දි තවාන් අර හිනාවෙන් මූණ පුරෝගත්ත...
"බොමුද බියර් එකක්...?" තවාන් ඇහුව... නාල ගොඩට ඇවිත් තෙත පිටින්ම කූල් බියර් එකක් බොන එකේ ආතල් එක ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ... මමත් OK කියල අපේ ඇඳුම් තියෙන තැනින් පර්ස් එක අරන් තවාන් ට භාත් සීයක් දුන්න දෙකක් ගේන්න කියල.... මට මතක හැටියට එතකොට San Miguel බියර්[තායිලන්තෙ හරි ජනප්‍රිය බියර් එකක්]එකක් භාත් විසි පහක් විතර ඇති... මිනිහ බියර් දෙකක් අරන් ඇවිල්ල වාඩි වුණා. මට බියර් එක දීල... ඉතුරු සල්ලි දෙන්න හදද්දි මම කිව්ව ඒක තියා ගන්න කියල... මිනිහ ඒ ගමන වැඳල ඒක බාරගත්ත..[කියන්න බැරි වුනානෙ.. තායි ජාතිකයො කෙනෙක් සල්ලි දුන්නහම ගන්නෙ වැඳල... බටහිරයන්ගෙ තැනක් වෙච්ච Pizza Hut එකේ පවා කැෂියර්ට සල්ලි දුන්නහම ගන්නෙ වැඳල... තාමත් එහෙමද දන්නෙ නෑ... මේ කියන්නෙ අවුරුදු නවයක් දහයක් පරණ කතාවක්]
මිනිහ සල්ලි අරන් සාක්කුවෙ දාගන්නෙ නැතුව, මිනිහ හැම තිස්සෙම නයි මල්ල වගේ කරේ එල්ලං ඉන්න sling bag එක ඇරල මම ඒ වෙනකම් කවදාවත් දැකල තිබුණෙ නැති දෙයක් එළියට ගත්ත... ඒක සල්ලි දාන කැටයක්, ඒත් අපි දන්න කාසි කැට වගේ නෙමෙයි ..නෝට්ටු කොළ දාන්නම හදපු එකක්...සල්ලි නෝඅට්ටුවක හැඩේට තරමක් ඝනකමට තුනී ඇලුමිනියම් තහඩු වලින් හදපු, එක පැත්ත්කින් සල්ලි දාන්න කටක් කපපු එකක්... මිනිහ මම දුන්න නෝට්ටුව ඒකට දාගත්ත....
මම ඇහුව මොකද එහෙම කළේ කියල.. මිනිහ එයාට වැඩකරන ආයතනයෙන් ලැබෙන පඩිය විතරලු වියදමට ගන්නෙ.. අමුත්තන්ගෙන් ලැබෙන ටිප් ඔක්කොම එකතු කරනවලු අර වගේ කැටයක...
මොකටද දන්නවද...
තවාන් කාලයක් ආදරේ කරල විවාහ වෙලා තියෙනව චීන ජාතික තරුණියක් එක්ක... එයාලට පුංචි දුවෙකුත් ඉන්නවලු....තවාන්ගෙ පවුලෙ දේපොළ ප්‍රශ්නයක් නිසා මිනිහට ගෙදර අහිමි වෙලා.. දැන් මිනිහට හරියකට ඉන්න ගෙයක් නැහැල්ලු... ඒක නිසා මිනිහගෙ පවුල මිනිහගෙ පුංචි දුවත් අරන් උන්දැගෙ ගෙදර ගිහින්... ඒ පවුලෙ චීන්නු කට්ටිය තවාන් ට දරුව බලන්නවත් දෙන්නෙ නැහැල්ලු... ඉතින් මිනිහ හදන්නෙ සල්ලි එකතු කරල පුංචි ගෙයක් ගන්න... තමුන්ගෙ දුව ව තමුන්ගෙ ළඟට ගන්න...
මට මිනිහ පර්ස් එක ඇරල බෝනික්කෙක් වගෙ පුංචි බබෙක් ගෙ පින්තූරයක් පෙන්නුව.. ඒ පුංචි දුව....
තායි ජාතිකයෙක් එක්ක කතාකරල තියෙන ඕන කෙනෙක් දන්නව ඇති ඔවුන්ගේ ඉංග්‍රීසි උච්චාරණය හරිම දුර්වලයි... තේරුම් ගන්න අමාරුයි.. ඒත් මිනිහගෙ හිනාවෙ හැංගිලා තියෙන දුක මට තෙරුම් ගන්න ඒ කතාබහෙන් හොඳටම පුළුවන් වුණා...
මිනිහ ඒ විස්තරේ කියල මට කිවුව... "මම මෙහෙම සල්ලි එකතු කර ගන්නකොට අර base ball glove එක ගන්න හිතපු දරුවට සිද්ධ වෙච්ච දේ වෙයිද දන්නෙ නෑ" කියල...
මම ඒ ගැන ඇහුවම මට තවාන් ඒ කතාව කිව්ව...
ඒ කතාව මේකයි......
එක කාර්මික ජනපදයක හිටපු එක කර්මාන්ත ශාලා සේවකයෙකුට හිටියලු අවුරුදු දොළහක් වයස පුතෙක්.මේ දරුව හරිම ආසයිලු බේස් බෝල් ක්‍රීඩාවට.. ඒත් අර දුප්පත් කර්මාන්ත ශාලා සේවකයට පුළුවන් වුණේ නැහැ අර දරුවට බේස් බෝල් ක්‍රීඩාවට ඕනෙ කරන අත් වැසුමක් අරන් දෙන්න...අර දරුව තමන්ගෙ අසල්වැසි යහළුවො ක්‍රීඩා කරනකොට ආසාව නිසා යනව ක්‍රීඩා කරන්න... ඔහු පාවිච්චි කරන්නෙ තමන්ගෙ තාත්ත කර්මාන්ත ශාලාවෙ වැඩ කරනකොට පාව්ච්චි කරල අහක දාපු රළු හම් අත්වැසුමක්.. මේ දරුව මේක නිසා අසල් වැසි ළමයින්ගෙ උසුළු විසුළු වලට හැමදාම ලක් වුණා.. ඒ විතරක් නෙමෙයි ඒ අත්වැසුම ඒ දරුවගෙ අතට ලොකුවැඩි නිසා හැමතිස්සෙම ගැලවිලා වැටෙනව...
දවසක් මේ ජනපදයෙ තියෙන කුඩා නගරයට මේ දරුව ගිය වෙලාවක එහි එක් සාප්පුවක වීදුරු කැබිනට්ටුවක ඔහුගෙ වයසට ගැලපෙන බේස්බෝල් අත්වැස්මක් දැක්ක.. ඔහු ආසාව වැඩිකමට ඒ සාප්පුව අයිතිකරුට කතාකරල අර අත්වැසුම අතට දාල බැලුව... හරියටම ඔහුගෙ අතේ ප්‍රමාණයට ගැලපෙන අත්වැසුමක්..! යන්තම් වත් බුරුල් නැහැ.. ඉතින් ගැලවිලා හැලෙන්නැතුව සෙල්ලම් කරන්න පුළුවනි මේ අත් වැසුම තියනවනම්....!! කුඩා අත්වැසුමක් නිසා මිලත් අඩුයි..
ඒත්....,
ඔහු දන්නව ඔහුගෙ පියාට මේ වගේ දේකට වියදම් කරන්න පුළුවන් කමක් නැති වග... ඔහු ඒ අත්වැසුමෙ මිල අහගෙන ගෙදර එනව... ඇවිත් හිතා ගන්නව මම කොහොම හරි ඒ අත් වැසුම ගන්නව කියල... ඔහු කැටයක් අරගෙන ඔහුට ලැබෙන කාසි එකතු කරන්න ගන්නව...
ඔහු කර්මාන්ත ශාලා කළමනාකරුවන්ගේ ගෙවල් වල මිදුලෙ තණකොළ කපන්න, උදුන් වල අඟුරු අස් කරන්න වගේ වැඩ කරල දීල ලැබේන මුදල් කැටේට දාල එකතු කරනව... ඔහු මාසෙකට පස්සෙ නගරෙට යනකොට පපුව ගැහෙමින් යන්නෙ ඔහුගෙ අතට හරියටම ගැලපෙන ඒ අත් වැසුම විකිණිලාද කියල... එත් ඒක තියෙනව.. තාම ඔහු ලඟ තියෙන මුදල් මදි....
ඔහු ඒ මුලු ගිම්හානයම වැඩකරනව ඒත් ඔහුට ලැබෙන කුඩා කාසි එකතුව මදි ඔහුගෙ අත් වැසුම ගන්න... ඔහු වෙහෙස නොබලා ශීත සෘතුවෙත් වැඩ කරනව... පොහොසතුන්ගෙ ගෙවල් වල පියෙසි වල හිම සූරන්න... අඩිපාරවල් පාදන්න වගේ වැඩ අධික සීතල දරාගෙන ඔහු කරන්නෙ අර අත්වැසුම විකිනෙන්නට පෙර මිලදී ගන්න ඔනේ නිසා...
අන්තිමේදි...,
එක රෑක ඔහුගෙ කැටේ තියෙන මුදල් ගණන් කරල බලපුවහම අත්වැසුම ගන්න ඔනෙ මුදල එකතු වෙලා තියෙනව....!!!
පහුවදා උදේම ඔහු සූදානම් වෙලා නගරයට යන්නෙ ඔහුගෙ අතට හරියටම ගැලපෙන අත්වැසුම ගන්න... ඔහු අර සාප්පුවට ගිහින් අත් වැසුම තිබුණු කැබිනට්ටුව දිහා බලනව...
ඔහුගෙ හිතෙන් බයවෙලා හිටියෙ ඒක විකිණිලාද කියල.. ඒත් ඒක එතැනම තියෙනව...
මේ දරුව සාප්පුව අයිතිකාරයට කතාකරල කියනව "මම සල්ලි එකතු කර ගත්ත... මම මේ අත් වැසුම ගන්නයි ආවෙ" කියල... සාප්පු අයිතිකාරය කැබිනට්ටුව ඇරල අත්වැසුම අරන් අර දරුවට දෙනව.. ඉහවහා ගිය සන්තෝසෙන් ඔහු ඒක අතට දාන්න බලනව...
අනේ....
ඒ මුදල් එකතු කරගන්න මෙච්චර කල් ගතවෙනකොට ඒ දරුව වැඩිල... ඒ දරුවගේ අත දැන් ලොකුයි...
ඔහුගෙ අතට තවදුරටත් ඒ අත් වැසුම දාන්න බැහැ...!!
ප.ලි..
අපි සංචාරය ඉවරකරල එද්දි කට්ටිය සල්ලි එකතු කරල තවාන්ට තෑග්ගක් අරන් දුන්න.. මම කිව්ව මගෙ සල්ලි ඉවරයි සම්මාදම් වෙන්න විදිහක් නෑ කියල... මම අපි එන්න කලින් දවසෙ රෑ තවාන් එක්ක කොෆී ශොප් එකට ගිහිල්ල කෝපි එකක් බීල මට ඒ වෙලාවෙ හැටිය දෙන්න පුලුවන් වුනු උපරිම හැටියට සල්ලි ටිකක් දුන්න අර කැටේට දාගන්න...
පින්තූරෙ ගත්තෙ මෙතැනින්..http://sportsbagblog.com/four-easy-steps-to-breaking-in-your-baseball-gloves/