
මේක මං පොඩිකාලෙ වෙච්ච සිද්ධියක්..
ඒත් එදා මට දැනුණු ඉතාම සියුම් කම්පනය එදා ඉඳන්මත් ,අවුරුදු 23 ක් විතර ගෙවිලත් තාමත් මට මිනිස්සුත් එක්ක තියෙන හිතවත්කම් වලදි කාගෙවත් හිත් නොරිද්දන්න පරිස්සම් වෙන්න උදව් වෙනව.....
ඒක නිසා වෙන්න ඇති මාව කිට්ටුවෙන් ඇසුරු කරපු ඕනෙ කෙනෙක් මං ඈත් වෙද්දි දුක් වෙන්නෙ...
මේක වෙන කාලෙ මම ඉස්කෝලෙ හොස්ටල් එකේ නැවතිලා හිටියෙ..... මම නිවාඩුවට ගෙදර ගිය දවසක මට අපේ ජෑන්ත අයිය ලොං දුන්නක් හදන හැටි කියල දුන්න... එයාට ඒක කියල දීල තියෙන්නෙ කළුබණ්ඩගෙ පුතාලු....
කළුබණ්ඩල ගැනත් පේළි දෙකක් ලියල ඉන්නම්කො ලොං දුන්න ගැන ලියන්න කලින්...
අපේ අයිය කෙනෙක් ඉන්නව කැලෑ මහත්තයෙක් , (ඔය මං කියපු ජෑන්ත අයියගෙ මල්ලි - මේ දෙන්නම අපේ ලොකු නැන්දගෙ පුතාල ) එයා කාලයක් ඔය බදුල්ල පැත්තෙ කැලේ වවන මොකක්ද ව්‍යාපෘතියක් කළා, කළුබණ්ඩල ඉන්නෙ අන්න ඒ පැත්තෙ , බදුල්ලෙනුත් හැතැක්ම තිහ හතළිහක් ඇතුලෙ තියෙන කැලෑ ගමක...එයාල සිංහල මිනිස්සු වුණාට වැදි ජනාවටත් වඩා කටුක ජීවිත ගතකරන්නෙ..
ඔය කළුබණ්ඩගෙ පුතා අවුරුදු 12 ක විතර ළමයෙක්... හතැක්මක් විතර ඈත තියෙන ගෙදර ඉඳන් කලු බණ්ඩගෙ රෑ කෑම එකත් අරන් අඳුර වැටීගෙන එන වෙලාවට මේ ළමය එනවලු තවානට (කළුබණ්ඩ තමා අර කැලෑ වැවිල්ලෙ තවාන් වල මුරකාරය) ..අපේ ජෑන්ත අයිය එහේ ගිහින් හිටපු දවසක මේ ළමය පරක්කු වෙලාලු ආවෙ, අහල බැලුවහම මොකද කියල මග තනි අලිය හිටිය ඌ යනකම් හිටිය කිව්වලු.. කොහෙද හිටියෙ කියල ඇහුවම කිව්වලු " මඤ්ඤොක්ක ගහක් උඩ නැගල හිටිය " කියල... එයාලගෙ එදිනෙදා ජීවිත එහෙමයි...
මොකක්ද මේ ලොං දුන්න කියන්නෙ...?
ඒක මේ කුරුල්ලො අල්ලන්න ගන්න උගුලක්.. ඔය උඩ තියෙන පින්තූරෙ තියෙන්නෙ ලොං දුන්නක් තමා.. ( ඔය පින්තූරෙ ගැන යමක් කියන්න තියෙනව තව ටිකකින් කියන්නම් ).
ඔය කළුබණ්ඩගෙ පුතාල හේන් ගිරවුන්ගෙන් පරිස්සම් කරන්න ගියහම ඕව අටවනවලු ගිරවු අහුවෙන්න... දවසක් ජෑන්ත අයිය ඇහුවලු අහුවෙන ගිරවු ඇති කරනවද කියල...එතකොට කිව්වලු " අපි නං තලා හොදි කනව " කියල.
මේක කියවන කාටවත් වැඩක් නැතත් මේක මොකක්ද කියල පොඩ්ඩක් පැහැදිලි කරන්න එපැයි ...ඕක වැඩකරන්නෙ මෙහෙමයි....
ඔය දුන්න වගේ තියන එකට දාල තියෙන්නෙ දෙපොටක් තියෙන නූලක්.ඒ නූල ගැටගහල තියෙන්නෙ එක පැත්තකින් විතරයි. අනිත් පැත්තෙදි ඒ ලීයෙම තියෙන සිදුරක් ඇතුළෙන් යවල දුන්න වගේ හොඳට නැමෙන්න ඇදල පොඩි කූඤ්ඤ කෑල්ලකින් තදකරනව. ඒ කූඤ්ඤ කෑල්ල උඩදි අර නූලෙ පොටවල් දෙක ඈත් කරල ( තොණ්ඩුවක් වගේ ) තියනව. මෙන්න මෙහෙම .....

දැන් ඔතන මොනව හරි කෑමට දෙයක් තිබ්බහම කුරුල්ලෙක් ඇවිත් කූඤ්ඤ කෑල්ල උඩ වැහුවොත් කූඤ්ඤ කෑල්ල ගැලවිල කුරුල්ලගෙ කකුල තොණ්ඩුව ඇතුළට යනව ..නූල release වුනහම දුන්න දිගඇරිල නූල කුරුල්ලගෙ කකුලත් එක්ක අර සිදුර ලඟට ගිහින් හිරවෙනව, මෙන්න මෙහෙම....

ඔය පින්තූර ගැන කියන්න තියෙන කථාවත් හරි පුදුම එකක්... මම මේක ලියන්න ගත්තහම තමා තෙරුණේ මේක කියවන කෙනෙකුට ලොං දුන්න පැහැදිලි කරන්න පින්තූරයක් තිබුණොත් හොඳයි නේද කියල...
ඉතින් net එක පීර පීර හොයනකොට හරියටම ලොං දුන්නක පින්තූරයක් හම්බවුණා.... එත් කළුබණ්ඩල ගැන article එකක නෙමෙයි... Ojibwe කියන රතු ඉන්දියානු ගෝත්‍රිකයො ගැන කියනarticle එකක.... පුදුම නැත්ද ... ලංකාවෙ මේ බදුලු කැලේ ඉන්න කළුබණ්ඩගෙ පුතාලයි, උතුරු ඇමෙරිකාවෙ ඉන්න Ojibwe ගෝත්‍රිකයොයි දෙගොල්ලොම කුරුල්ලො අල්ලන්න ලොං දුන්න අටවනව කිව්වම.....
ඒක ගැන දේශපාලනික තෙරුමකිනුත් ගන්න පුළුවන් වාක්‍ය කෑල්ලක් දාන්නද.....
"ලෝකෙ කොයි කොනේ හිටියත් මිනිස්සුන්ට තියෙන එක වගේ ප්‍රශ්න වලට තියෙන්නෙ එක වගේ විසඳුම් ..."
මගෙ කතාව ඕක නෙමෙයි, කතාව මේකයි.....
මං හොස්ටල් එකේ ඉන්න කාලෙ කාලයක් අපේ පොඩි ක්ලික් එකක් තිබුණ .... එහෙම එව කාලෙන් කාලෙට තියෙනව.. ( හොස්ටල් ජීවිතේ ගැන වෙනම කතාකරන්න ඔනෙ.... මට නම් හිතෙන්නෙ හොස්ටල් එකක ගත කරන කාලෙ ජීවිතය ඇතුළෙ ජීවිතයක් වගේ කියල.. හරියට ඉන්දියාව කියන්නෙ ලෝකෙ ඇතුළෙ තියන ලෝකයක් කියනව වගෙ ).
මේකෙ සාමජිකයො තුන් දෙනයි මමයි,සිසිලුයි, කාන්තයයි...
අපි තුන් දෙනාම බාලදක්ෂයො... එකම කණ්ඩායමේ ....
ඔය කාලෙට මොනව කළත් ඉතින් ඒක ජීවිතේම කර ගන්නවනෙ... මුද්දර එකතු කරන එකා ගෙදරින් කෑම ගන්න දෙන සල්ලි වලින් මුද්දර අරන් බඩගින්නෙ ඉන්නව... kadeting කරන එකා තට්ටෙ වගෙ හිටින්න කොණ්ඩෙ කපාගෙන, බුරිය ළඟට හිරව්න්න කලිසම ඇඳල,වැසිළියට ගියත් ඇවිදින්නෙ වම.. දකුණ.. වම හරියට තියල...
ඉතින් බාලදක්ෂයොත් ලොකු වෙනසක් නෑ..මොකද අපේ ඒ කාලෙ කියමනකුත් තියෙනව " once a scout is always a scout " ( " වරක් බාලදක්ෂයෙක් වූ කෙනෙක් සැමවිටම බාලදක්ෂයෙකි") කියල.... ඉතින් අපිත් ලණු කෑලි , පොලු කෑලි ,පිහි , ගිනිපෙට්ටි වගෙ අනිත් උන් පවිච්චි කරන්නෙ නැති බඩු වලින් තමා වැඩ...එකපාරක් උඩ තට්ටුවට නගින්න හැදුව වැල් ඉනිමඟක් ( යසට පඩි පෙළ තියෙද්දි ). තව සැරයක් හැදුව tree hut එකක්.. ඒකනම් සෑහෙන්න නැගල ගියා...
ඔන්න ඔය කාලෙ තමයි මම නිවාඩුවට ගෙදර ගිය වෙලේ ජෑන්ත අයිය මට ලොං දුන්න හදන හැටි කියල දුන්නෙ...
මං නිවාඩුව ඉවර වෙලා ආපු ගමන්ම අපේ අනිත් දෙන්නට වැඩේ ගැන brief කළා in detail... අපිට ඒ කාලෙ තිබ්බ ලොකුම හිසරදයක් තමා කාක්කො.. ( කොළඹ නගරසභා සීමාව ඇතුළෙ කාලයක් හිටපු ඕන කෙනෙක් මේක දන්නව )... දැන් වැඩේ ප්ලෑන් කළා කාක්කන්ට ගේම දෙන්න...
අපේ පිහි හෙම අරගෙන කෝටු කපාගෙන වැඩේට බැස්ස... මමයි සිසිලුයි තමා වැඩේ කරන්නෙ.. කාන්තය තමා සහයට ඩැනී.. මොකද ඌට මගෙ briefing එක හරියට තේරුණේ නෑ (මොකෝ ඒ කාලෙ net එක තිබුණයැ මේ පින්තූර පෙන්නන්න...) අපිට කොච්චර කළත් මේක හරියට අටවගන්න බෑ... දුන්න ගැස්සිල ..මගෙයි සිසිලයගෙයි දෙන්නගෙම ඇඟිලි අහුවුණා ඇඟිලි පුරුක් වලින් කැඩිල යන ගානට... කාන්තය හිකි හිකි ගාල හිනා වෙනව... අපිට මළ...අපි අරූට බැන්න ....
උඹ බලාගෙන ඉන්න හින්ද තමා මේක හරියන්නෙ නැත්තෙ.. උඹේ බැල්ම මේකට මුස්පෙන්තුයි... තෝ පල යන්න මෙතනින් කියල....
ඌ ටිකක් වෙල කුටු කුටු ගගා මොනවද කිය කිය ඉඳල යන්න ගියා...
ටික වෙලාවකින් මට ඇහුණ visitors room එකෙ duty ඉන්න junior කෙනෙක් ඇවිල්ල අන්න කාන්ත අයියලගෙ ගෙදරින් ඇවිල්ල කියල කෑ ගහනව.....
අපි අපේ වැඩේ කරගෙන ගියා... මෙක රඳවන්නෙ කොහොමද කියල හිත හිතා...
තව ටික වෙලාවකට පස්සෙ...පිටිපස්සෙන් සද්දයක් ආව...( අපි වැඩ කර කර හිටියෙ පරණ ඩෙස් බංකු ටිකක් ගොඩ ගහල තිබුණු තැනක )... අපි හැරිල බැලුව...
කාන්තය හරියට අවුරුදු උත්සවේ අලියට ඇහැ තියන්න වගෙ ඇස් වහගෙන, හුණු කෑල්ලක් වගෙ එකක් දික් කරගෙන ඩෙස් වල හැපි හැපි එනව අපි දිහාට... මට හිතාගන්න බැරි තැන මං ඇහුව මොකක්ද යකෝ ඔය කරන්නෙ කියල...
කාන්තය දුන්න උත්තරෙ මේකයි....
" අපේ ගෙදරින් ආව.. තාත්ත අතේ අම්ම අළුව වගෙයක් එවල තුබුණ... උඹලට කෑලි දෙකක් දෙන්න ආවෙ , මම දැක්කොත් ඔය වැඩේ මුස්පෙන්තු වෙනව කියපු හින්ද ඇස් දෙක වහගෙන ආවෙ" කියල.......
මට ලොං දුන්න පොළොවෙ ගහල අඬන්න හිතුණ....