Wednesday, August 10, 2011

ඔබ කවුද... ?

රාමදාන් කාලය නිසා තරමක විවේකයක් ලැබේය, ඒක නිසා ටිකක් වැඩිපුර ලියන්න ලැබේය කියල හිතාගෙන හිටියත් ඇත්තෙන්ම ලැබුණෙ ඉතාම අවිවේකී කාලයක්... මේ මාසෙ ඇතුළත රුපියල් කෝටි හයක විතර සපත්තු අපේ ආදරණීය පාරිභෝගිකයන්ට අලෙවිකිරීමේ ඉලක්කයක් ලැබුණ..( ලේසි වැඩක් කියල හිතන්ට එපා ඩුබායි වල වුනත්..) ඉතින් ගතින් තරමක විවේකයක් තිබුණත් හිතින් " full time engaged in business ".

ඒත් අමාරුවෙන් අටවගත්තු බ්ලොග් එක පාළුවට යවලත් බැරි නිසා කාටත් ප්‍රයෝජනවත් විය හැකි පුංචි අදහසක් සටහන් කරන්න හිතුව... සුබස වත් පාවිච්චි නොකර ලින නිසා අකුරු විනිසෙහි නොයෙක් අඩුපාඩු තිබිය හැකියි..



පහල ඡායාරූපයේ ඉන්න කෙනාව දන්නවද... ?





මේ ඉන්නෙ Les Brown. ඔබ ඔහුව දැනටමත් දන්නවනම් මම කියන්න යන කතාව ඔබ දන්නව ඇති... ඒත් කමක් නෑ.. ආපහු කියවමු.. අපතෙ යන එකක් නෑ...

ඇයි මම Les Brown ගැන ලියන්නෙ.. ?

කාටත් වගේ තියෙනවනෙ අවශ්‍ය තැන් වලදි පාවිච්චි කරන නොයෙක් කියමන්... (Quotes).ඕව ඉතින් අපි කොහෙන් හරි කියවල හරි කවුරු හරි කියනව ඇහිල හරි මතක තියාගත්තු ඒවනෙ... තමුන්ගෙම කියමන් ඇති අයත් නැතුව නොවෙයි... ( ඇයි හත්තිලව්වෙ ඔය කියමන් මුලින්ම කියපු උදවිය.. ). මමත් ඒ වගේ පාවිච්චි කරන quotes තියෙනව...

මම පාව්ච්චි කරන, ඉතාම වැදගත්ය කියල මට හිතෙන, එක කියමනක් මම අහල තියෙන්නෙ ඔන්න ඔය පින්තූරෙ ඉන්න Les Brown ගෙන් .

ඔහු ප්‍රසිද්ධ දේශකයෙක්... ( motivational speaker කෙනෙක් )... අපි කියමුකො උනන්දු කරවීමේ දේශකයෙක් කියල... විශාල මුදලක් අය කරන, ප්‍රසිද්ධ සමාගම් , ආයතන වලට නොයෙකුත් කන්ඩායම් වලට සාර්ථකත්වය ළඟාකරගැනීම ගැන දේශන පවත්වන කෙනෙක්...

ඔහු ඒ අංශයෙන් නොයෙකුත් ගෞරව සම්මාන වලට පාත්‍ර වෙච්ච කෙනෙක්... National Speakers Association වෙතින් පිදෙන ඉහලම ගෞරව සම්මානයත්, Toastmasters international වෙතින් ඇමරිකාවෙ හොඳම දේශකයන් පස් දෙනාගෙන් කෙනෙක් හැටියටත්, ඒ වගේම චිකාගෝ Emmy Award එකකුත් ලබාගෙන තියෙනව..

මම ඔය කියමන පාවිච්චි කලාට, ඕක කියල තියෙන්නෙ Les Brown ය කියල දැනගෙන හිටියට ඕකෙ නිධාන කථාව දැනගෙන හිටියෙ නෑ... ළඟදි දවසක ප්‍රබෝධ් ට්‍රෙහාන් කියල ඉන්දිය ජාතික මිත්‍රයෙක් මට ඔය කතාව කිව්වෙ...

ඒ කතාව මේකයි......

Les Brown ඉතාම දුප්පත් පසුබිමකින් එන කෙනෙක්... ඉපදිලා සති දෙකකින් ඔහුව දරුකමට හදාගන්න අරන් තියෙනව.. ඒත් කමකරු පවුලක කාන්තාවක් විසින්... කොහොම හරි ඔහුව පාසැලට ඇතුලත් කරල තියෙන මේ කාන්තාව.. ඒත් ඔහු පස්වෙනි ශ්‍රේණිය දක්වා ගියාට පස්සෙ ඔහු අධ්‍යාපනය ලැබිය හැකි, ඒත් දුර්වල මානසික තත්වයක් ඇති (educable mentally retard) ළමයෙක් හැටියට හඳුන්වල ඔහුව ශ්‍රේණියක් පහලට දාල විශේෂ පංතියකට දාල තියෙනව.. එතැන් ඉඳන් හැමෝම ඔහුට සලකල තියෙන්නෙ මැට්ටෙක් හැටියට... මේ සිදුවීම ඔහුගෙ හිතට වැදිල.. ඔහුත් මම "වැඩ බැරි" කෙනෙක්ය කියන මානසික මට්ටමේම ඉඳල තියෙනව..

ඔය අතරෙදි තමයි Les ගෙ ජීවිතය වෙනස් කරපු කියමනක් ඔහුට අහන්න ලැබිල තියෙන්නෙ...

දවසක් ඔහු තමගෙ යාලුවෙක් මුණගැහෙන්න ඒ යාලුවගෙ පන්තියට ගිහින් වාඩි වෙලා ඉඳල තියෙනව.. ඒ අතරෙ ඒ පන්තියට උගන්වන ගුරුතුමා ඇවිත්... ඔහුට දැනිල නැහැ Les මේ පන්තියෙ කෙනෙක් නොවෙන බව... ඔහු යම් ක්‍රියාකාරකමක් දීල ඒක කලු ලෑල්ලෙ කරන්න කියල Les ට කියල තියෙනව.. Les කිව්වලු මට බැහැ කියල.. ගුරුතුමා ඇහුවලු ඇයි බෑ කියන්නෙ කියල... Les කිව්වලු මම මේ පන්තියෙ නෙමෙයි.. මම වැඩ බැරි පන්තියෙ ළමයෙක් ඒකයි මට බැරි කියල... එවෙලෙ ඒ ගුරුතුමා කියපු කියමන තමයි.. Les ගෙ හිත වෙනස් කරල ඉදිරියටම ගිහිල්ල අද ඔහු ඉන්න සාර්ථක තත්වෙට එන්න උදවු වෙලා තියෙන්නෙ... ඒ කියමන තමයි අද ඔහු Quote එකක් හැටියට පාවිච්චි කරන්නෙ..

මම මගෙ බ්ලොග් එකෙත් ගෙදර හදපු බැනර් එකක් වගේ එල්ලල තියෙන්නෙත් ඔය කියමන තමයි...

Les Brown ට ඔහුගෙ යාලුවගෙ පංතියෙ ගුරුතුමා කියපු දේ මේකයි...

Someone's Opinion Of You Doesn't Have To Become Your Reality ( ඔබ ගැන යම් කෙනෙකුගේ මතය, ඔබගේ ජීවිතයේ යතාර්ථය විය යුතු නැත..)







මට මේ වෙලාවෙ තව පුංචි කතාවක් මතක් වුනා... මේ දවස්වල පාසැල් නිවාඩු කාලය නිසා කුඩා දරුවන්ට ආදර්ශමත් කතන්දර අරන් ඒව චිත්‍ර , පුංචි අනුරූ වගේ දේවල් ඇසුරෙන් සකස් කරල පුංචි කුටි වල ප්‍රදර්ශනය කරල තියෙනව අපේ Shop එක තියෙන Mall එකේ... මේ කතාව දැක්කෙ ඒ එකක..

ඒ කතාව මේකයි......


ගෙම්බො රංචුවක් කැලයක් මැදින් ගමනක් යනව.. එක පාරටම මහ විසාල ගැඹුරු වලක් තිබිල ඕකට ගෙම්බො දෙන්නෙක් වැටෙනව... මේ දෙන්න ඉතින් බය වෙලා ... මේකෙන් උඩට යන්නෙ කොහොමද කියල උඩ පනින්න බලනව.. අර උඩ ඉන්න ගෙම්බො කට්ටිය අඬු පඬු වීසි කර කර කෑ ගහනව ." අපිට උඹල ගැන දුකා..යී.. ඒත් මහන්සි වෙන්න එපා... උඹලට මේකෙන් උඩට එන්න බෑ...ඈ.." කියල.. මේක ඇහිල අර උඩ පනින්න ගත්ත එක ගෙම්බෙක් බයටම පපුව ගැහිල මැරිල වල ඇතුලටම වැටෙනව... අනිත් ගෙම්බ මේ කෑ ගගහ දඟලන ගෙම්බො ටික දිහා බල බලා පුළුවන් උපරිම වීරිය දාල පැනල උඩට එනව... අනිත් ගෙම්බන්ට පුදුමයි ... අපි මෙච්චර කෑ ගහද්දිත් මූ ගානකටවත් නොගෙන ගොඩ ආවනෙ කියල...

රහස මොකක්ද දන්නවද...
.
.
.
.
.
.
.
ඒ ගෙම්බ බිහිරියි...
ඌ හිතල තියෙන්නෙ අර කට්ටිය උඩ ඉඳන් අඬු වන වනා චියර් කරනව කියල...


පින්තූර ගත්තෙ මෙතැනින්..
http://www.bigbrothercj.com/
http://dimdima.com

Tuesday, July 19, 2011

සතෙන් සතේ...රුපියලෙන් රුපියල...... තවාන් & the story of baseball glove..



ටික දවසකින් මොකුත් ලියන්න බැරිවුණා.. කාලය තමා උදැල්ල දාන්නෙ... මොකදැ කරන්නෙ... දැන් හිතෙනව මේ ලිවිල්ල නවත්තල දාල, අපේ ලකී,ගිම්හානි , ඔබා, බුරෝ ල වගේ බ්ලොග් කියවන්නයි ලියන අය දිරිමත් කරන්නයි පටන් ගත්තනම් හොඳයි කියල... මගෙ බ්ලොග් එකේ ලියපු පෝස්ට් දෙක තුන කියවල බලද්දි නිකම් monotonous ගතියක් මට තේරෙනව... ඒත් මොකදැ කරන්නේ... මම පටන් ගත්තෙම මට මතක හැටියට පරණ දේවල් ලියන්ඩම නොවැ... බලමුකො ඉස්සරහට බැරි වැඩක්වත් කරල පොඩි චේන්ජ් එකක් කරන්න...

අදත් කියන්න තියෙන්නෙ ඇහුණු කතාවක්...

මේක හරිම දුක හිතෙන කතාවක්... කාටහරි කියන්න පුළුවන් නෙගෙටිව් කතාවක් කියලත්... මක් කරන්නද .. අපි ඉන්නෙ මේ මහපොළොවෙ නොවැ... හැමදේම පොසිටිව් විදිහට ඉවර වෙනවනම් හොඳා තමා...ඒත් හැමවිටම එහෙම නෙවෙන බවනොවැ ඇත්ත....

මට මේ කතාව කිව්වෙ සංචාරක මගපෙන්වන්නෙක්... මිනිහගෙ නම තවාන්.... මුණ ගැහුණෙ තායිලන්තෙදි... මිනිහ කියපු විදිහට තායි බාෂාවෙන් තවාන් කියන්නෙ සූර්යයා කියන එක ලු... සංචාරක මගපෙන්වන්නො ( සමහර ) ඉතින් ඉර හඳ උලා කාපු ,වඳුරන්ගෙන් බණ අහල ජේතවනාරාමෙට ගලුත් ගහල ආපු උන් හින්ද මිනිහ බොරුවක් කිව්වද දන්නෙ නෑ... තවාන් කියන්නෙ හඳටද දන්නෙත් නෑ...

තවාන් හැම තිස්සෙම හිනාවෙලා ඉන්න , හරිම අහිංසක පෙනුමක් තියෙන කෙනෙක්. සාමාන්‍ය තායි ජාතිකයන්ට වඩා තරමක් උස මහත ශරීරයක් තමයි තිබුණෙ.... නමුත් මිනිහ මාත් එක්ක හිනාවුන හැම වෙලාව්කම මිනිහගෙ හිනාවෙ මොකක් හරි වෙහෙසක් වගෙ දෙයක් හැංගිලා තියෙනව වගේ කියල මට හිතුණ...

දවසක් හැන්දෑවෙ අපි හිටියෙ Pattaya වෙරළෙ..[ තායි සංචාරයේ මතක වෙනම.. පස්සෙ වෙලාවක..].කට්ටිය ජෙට් ස්කී පදින්න ලෑස්ති වුණා...මම ඉස්සෙලම පටන් ගත්ත සෙට් එකේ... පැය භාගයක් විතර පැදල මම ගොඩට ආව... ඇවිත් එතන තිබුණු බංකු කොටයක් උඩ වාඩිවුණේ මුහුද දිහා ටිකක් බලා ඉන්න... එහකොටයි මම දැක්කෙ අපිව මෙතෙන්ට එක්ක ආපු තවාන් වැල්ලෙ වාඩි වෙලා මුහුද දිහා බලං ඉන්නව...

මමත් එතනට යද්දි තවාන් අර හිනාවෙන් මූණ පුරෝගත්ත...

"බොමුද බියර් එකක්...?" තවාන් ඇහුව... නාල ගොඩට ඇවිත් තෙත පිටින්ම කූල් බියර් එකක් බොන එකේ ආතල් එක ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ... මමත් OK කියල අපේ ඇඳුම් තියෙන තැනින් පර්ස් එක අරන් තවාන් ට භාත් සීයක් දුන්න දෙකක් ගේන්න කියල.... මට මතක හැටියට එතකොට San Miguel බියර්[තායිලන්තෙ හරි ජනප්‍රිය බියර් එකක්]එකක් භාත් විසි පහක් විතර ඇති... මිනිහ බියර් දෙකක් අරන් ඇවිල්ල වාඩි වුණා. මට බියර් එක දීල... ඉතුරු සල්ලි දෙන්න හදද්දි මම කිව්ව ඒක තියා ගන්න කියල... මිනිහ ඒ ගමන වැඳල ඒක බාරගත්ත..[කියන්න බැරි වුනානෙ.. තායි ජාතිකයො කෙනෙක් සල්ලි දුන්නහම ගන්නෙ වැඳල... බටහිරයන්ගෙ තැනක් වෙච්ච Pizza Hut එකේ පවා කැෂියර්ට සල්ලි දුන්නහම ගන්නෙ වැඳල... තාමත් එහෙමද දන්නෙ නෑ... මේ කියන්නෙ අවුරුදු නවයක් දහයක් පරණ කතාවක්]

මිනිහ සල්ලි අරන් සාක්කුවෙ දාගන්නෙ නැතුව, මිනිහ හැම තිස්සෙම නයි මල්ල වගේ කරේ එල්ලං ඉන්න sling bag එක ඇරල මම ඒ වෙනකම් කවදාවත් දැකල තිබුණෙ නැති දෙයක් එළියට ගත්ත... ඒක සල්ලි දාන කැටයක්, ඒත් අපි දන්න කාසි කැට වගේ නෙමෙයි ..නෝට්ටු කොළ දාන්නම හදපු එකක්...සල්ලි නෝඅට්ටුවක හැඩේට තරමක් ඝනකමට තුනී ඇලුමිනියම් තහඩු වලින් හදපු, එක පැත්ත්කින් සල්ලි දාන්න කටක් කපපු එකක්... මිනිහ මම දුන්න නෝට්ටුව ඒකට දාගත්ත....

මම ඇහුව මොකද එහෙම කළේ කියල.. මිනිහ එයාට වැඩකරන ආයතනයෙන් ලැබෙන පඩිය විතරලු වියදමට ගන්නෙ.. අමුත්තන්ගෙන් ලැබෙන ටිප් ඔක්කොම එකතු කරනවලු අර වගේ කැටයක...

මොකටද දන්නවද...

තවාන් කාලයක් ආදරේ කරල විවාහ වෙලා තියෙනව චීන ජාතික තරුණියක් එක්ක... එයාලට පුංචි දුවෙකුත් ඉන්නවලු....තවාන්ගෙ පවුලෙ දේපොළ ප්‍රශ්නයක් නිසා මිනිහට ගෙදර අහිමි වෙලා.. දැන් මිනිහට හරියකට ඉන්න ගෙයක් නැහැල්ලු... ඒක නිසා මිනිහගෙ පවුල මිනිහගෙ පුංචි දුවත් අරන් උන්දැගෙ ගෙදර ගිහින්... ඒ පවුලෙ චීන්නු කට්ටිය තවාන් ට දරුව බලන්නවත් දෙන්නෙ නැහැල්ලු... ඉතින් මිනිහ හදන්නෙ සල්ලි එකතු කරල පුංචි ගෙයක් ගන්න... තමුන්ගෙ දුව ව තමුන්ගෙ ළඟට ගන්න...
මට මිනිහ පර්ස් එක ඇරල බෝනික්කෙක් වගෙ පුංචි බබෙක් ගෙ පින්තූරයක් පෙන්නුව.. ඒ පුංචි දුව....

තායි ජාතිකයෙක් එක්ක කතාකරල තියෙන ඕන කෙනෙක් දන්නව ඇති ඔවුන්ගේ ඉංග්‍රීසි උච්චාරණය හරිම දුර්වලයි... තේරුම් ගන්න අමාරුයි.. ඒත් මිනිහගෙ හිනාවෙ හැංගිලා තියෙන දුක මට තෙරුම් ගන්න ඒ කතාබහෙන් හොඳටම පුළුවන් වුණා...

මිනිහ ඒ විස්තරේ කියල මට කිවුව... "මම මෙහෙම සල්ලි එකතු කර ගන්නකොට අර base ball glove එක ගන්න හිතපු දරුවට සිද්ධ වෙච්ච දේ වෙයිද දන්නෙ නෑ" කියල...
මම ඒ ගැන ඇහුවම මට තවාන් ඒ කතාව කිව්ව...

ඒ කතාව මේකයි......

එක කාර්මික ජනපදයක හිටපු එක කර්මාන්ත ශාලා සේවකයෙකුට හිටියලු අවුරුදු දොළහක් වයස පුතෙක්.මේ දරුව හරිම ආසයිලු බේස් බෝල් ක්‍රීඩාවට.. ඒත් අර දුප්පත් කර්මාන්ත ශාලා සේවකයට පුළුවන් වුණේ නැහැ අර දරුවට බේස් බෝල් ක්‍රීඩාවට ඕනෙ කරන අත් වැසුමක් අරන් දෙන්න...අර දරුව තමන්ගෙ අසල්වැසි යහළුවො ක්‍රීඩා කරනකොට ආසාව නිසා යනව ක්‍රීඩා කරන්න... ඔහු පාවිච්චි කරන්නෙ තමන්ගෙ තාත්ත කර්මාන්ත ශාලාවෙ වැඩ කරනකොට පාව්ච්චි කරල අහක දාපු රළු හම් අත්වැසුමක්.. මේ දරුව මේක නිසා අසල් වැසි ළමයින්ගෙ උසුළු විසුළු වලට හැමදාම ලක් වුණා.. ඒ විතරක් නෙමෙයි ඒ අත්වැසුම ඒ දරුවගෙ අතට ලොකුවැඩි නිසා හැමතිස්සෙම ගැලවිලා වැටෙනව...

දවසක් මේ ජනපදයෙ තියෙන කුඩා නගරයට මේ දරුව ගිය වෙලාවක එහි එක් සාප්පුවක වීදුරු කැබිනට්ටුවක ඔහුගෙ වයසට ගැලපෙන බේස්බෝල් අත්වැස්මක් දැක්ක.. ඔහු ආසාව වැඩිකමට ඒ සාප්පුව අයිතිකරුට කතාකරල අර අත්වැසුම අතට දාල බැලුව... හරියටම ඔහුගෙ අතේ ප්‍රමාණයට ගැලපෙන අත්වැසුමක්..! යන්තම් වත් බුරුල් නැහැ.. ඉතින් ගැලවිලා හැලෙන්නැතුව සෙල්ලම් කරන්න පුළුවනි මේ අත් වැසුම තියනවනම්....!! කුඩා අත්වැසුමක් නිසා මිලත් අඩුයි..

ඒත්....,

ඔහු දන්නව ඔහුගෙ පියාට මේ වගේ දේකට වියදම් කරන්න පුළුවන් කමක් නැති වග... ඔහු ඒ අත්වැසුමෙ මිල අහගෙන ගෙදර එනව... ඇවිත් හිතා ගන්නව මම කොහොම හරි ඒ අත් වැසුම ගන්නව කියල... ඔහු කැටයක් අරගෙන ඔහුට ලැබෙන කාසි එකතු කරන්න ගන්නව...

ඔහු කර්මාන්ත ශාලා කළමනාකරුවන්ගේ ගෙවල් වල මිදුලෙ තණකොළ කපන්න, උදුන් වල අඟුරු අස් කරන්න වගේ වැඩ කරල දීල ලැබේන මුදල් කැටේට දාල එකතු කරනව... ඔහු මාසෙකට පස්සෙ නගරෙට යනකොට පපුව ගැහෙමින් යන්නෙ ඔහුගෙ අතට හරියටම ගැලපෙන ඒ අත් වැසුම විකිණිලාද කියල... එත් ඒක තියෙනව.. තාම ඔහු ලඟ තියෙන මුදල් මදි....

ඔහු ඒ මුලු ගිම්හානයම වැඩකරනව ඒත් ඔහුට ලැබෙන කුඩා කාසි එකතුව මදි ඔහුගෙ අත් වැසුම ගන්න... ඔහු වෙහෙස නොබලා ශීත සෘතුවෙත් වැඩ කරනව... පොහොසතුන්ගෙ ගෙවල් වල පියෙසි වල හිම සූරන්න... අඩිපාරවල් පාදන්න වගේ වැඩ අධික සීතල දරාගෙන ඔහු කරන්නෙ අර අත්වැසුම විකිනෙන්නට පෙර මිලදී ගන්න ඔනේ නිසා...

අන්තිමේදි...,

එක රෑක ඔහුගෙ කැටේ තියෙන මුදල් ගණන් කරල බලපුවහම අත්වැසුම ගන්න ඔනෙ මුදල එකතු වෙලා තියෙනව....!!!
පහුවදා උදේම ඔහු සූදානම් වෙලා නගරයට යන්නෙ ඔහුගෙ අතට හරියටම ගැලපෙන අත්වැසුම ගන්න... ඔහු අර සාප්පුවට ගිහින් අත් වැසුම තිබුණු කැබිනට්ටුව දිහා බලනව...

ඔහුගෙ හිතෙන් බයවෙලා හිටියෙ ඒක විකිණිලාද කියල.. ඒත් ඒක එතැනම තියෙනව...

මේ දරුව සාප්පුව අයිතිකාරයට කතාකරල කියනව "මම සල්ලි එකතු කර ගත්ත... මම මේ අත් වැසුම ගන්නයි ආවෙ" කියල... සාප්පු අයිතිකාරය කැබිනට්ටුව ඇරල අත්වැසුම අරන් අර දරුවට දෙනව.. ඉහවහා ගිය සන්තෝසෙන් ඔහු ඒක අතට දාන්න බලනව...

අනේ....

ඒ මුදල් එකතු කරගන්න මෙච්චර කල් ගතවෙනකොට ඒ දරුව වැඩිල... ඒ දරුවගේ අත දැන් ලොකුයි...

ඔහුගෙ අතට තවදුරටත් ඒ අත් වැසුම දාන්න බැහැ...!!



ප.ලි..
අපි සංචාරය ඉවරකරල එද්දි කට්ටිය සල්ලි එකතු කරල තවාන්ට තෑග්ගක් අරන් දුන්න.. මම කිව්ව මගෙ සල්ලි ඉවරයි සම්මාදම් වෙන්න විදිහක් නෑ කියල... මම අපි එන්න කලින් දවසෙ රෑ තවාන් එක්ක කොෆී ශොප් එකට ගිහිල්ල කෝපි එකක් බීල මට ඒ වෙලාවෙ හැටිය දෙන්න පුලුවන් වුනු උපරිම හැටියට සල්ලි ටිකක් දුන්න අර කැටේට දාගන්න...


පින්තූරෙ ගත්තෙ මෙතැනින්..http://sportsbagblog.com/four-easy-steps-to-breaking-in-your-baseball-gloves/


Saturday, July 2, 2011

ටැක්සි රියදුරා සහ ආයතනික ප්‍රතිපත්ති



මේක මම අහපු කතාවක්...
මට නම් හොඳින් මතක හිටපු කතාවක්... මම මේකෙ තාම කතන්දරයක් දැම්මෙම නෑනෙ.. ඉතින් මේක ලියල දාන්න ඕනෙ කියල හිතුව...

මට මෙ කතාව කිව්වෙ ජොර්දානයෙ අම්මාන් නගරයෙදි කුලී රථ රියදුරෙක්...



ජොර්දානය ඇවිල්ල මැදපෙරදිග තියෙන වෙනස්ම රටක්...තුන්වෙනි ලෝකයෙ කියන්නෙ.. ආයි ඒකෙ හොඳම එක... ඒ තරම් ආදයම් විෂමතාවයක් තියෙන රටක් මගෙ ජීවිතේට දැකල නෑ...

හොඳම උදාහරණයක් කියන්නම්...

මමයි අපෙ සපතේරු හාමිනෙයි ඒ කාලෙ නැවතිලා හිටියෙ බටහිර අම්මාන් කියන ප්‍රදේශයෙ ගෙදරක... අපි තට්ටු තුනක් තියන ගෙදරක බිම් මහල තමයි කුලියට අරන් හිටියෙ.ඒ ගෙදර අයිතිකාරය Royal Jordanian ගුවන් සේවාවෙ chief pilot... ගෙදර අපි හිටපු කොටස හැර මුලු ගෙදරම ඔහුගෙ පවුලෙ කට්ටිය තමයි පාවිච්චි කළේ... ගෙදර පාව්ච්චියට Mercedes-Benz කාර් එකකුත් අලුත්ම Mitsubishi Montero ජීප් එකකුත්,Hyundai Santa Fe වර්ගයෙ ජීප් එකකුත්,ජොර්දානයෙ මුලින්ම ලියාපදිංචි කරපු ඇන්ටික් Citroën කර් එකකුත් තියෙනව...

ඊ ළඟට....

අපි හිටපු ඒ ගේ පහු වුණ ගමන්ම පාරෙන් අනිත් පැත්තෙ ඉන්නව තව පවුලක්.ඔරිම ඔරිජිනල් බදුවින්වරු... ගෙයි බිත්ති හදල තියෙන්නෙ ලංකාවෙ ගල් වැටි බඳිනව වගෙ ගල් එක උඩ එක තියල... ගේ වටේම බැටළු ගාල...

උදේට මම දකිනව අපේ පයිලට් මහත්තය අර කියපු ඒවයින් එක වාහෙනේකින් airport එකට යනව airbus එක පදවගෙන Newyork හරි Dalas හරි යන්න.. ඒ වෙලාවටම අපේ එඬේර මහත්තය බූරුවගෙ පිටෙ නැගල බැටළු රැළ දක්කගෙන එ පාරෙම යනව හිස් ඉඩම් තියන තැනකට බැටළුවන්ට තණකොළ කවන්න....මවාගන්නකො විෂුවල් එක .....( දැන් නැවතිලා ලියනකොට සඳරු මලයගෙ ගම මතක් වුණා ).

කතාව පිට ගියා... ජොර්දානෙ ගැන වෙනම ලිව්වොත් හොඳා වාගෙ...

ඉතින් මම දවසක් ටිකක් ඈතක ඉඳන් ගෙදර එන්න ටැක්සියකට නැග්ගහම ඩ්‍රයිවර් ඉංග්‍රීසියෙන් කතා කළා...( ඉතින් ඕක ලියන්න දෙයක්ද..?.. ඔව්... ! එහේ 98% ටැක්සි ඩ්‍රයිවර්ල කතාකරන්නෙ අරාබි ) මමත් සතුටු වෙලා වල් පල් කතා කර කර ආව... මට තෙරුන මිනිහ අනික් ටැක්සි ඩ්‍රයිවර්ලට වඩා මොකක්ද වෙනසක් තියෙන බව...

මම ඇහුව තව මොකුත් රස්සවක් කරන ගමන් මේක පාට් ටයිම්ද කරන්නෙ කියල... පොර කියනව නෑ මම කර කර හිටපු රස්සව අතෑරල මෙක ෆුල් ටයිම් කරන්නෙ කියල... බැලින්නම් පොර උපාධිධාරී වාරිමාර්ග ඉන්ජිනේරුවෙක්... ( මට කලින් වැඩකරපු තැන බිස්නස් කාර්ඩ් එකකුත් පෙන්නුව )..
( මට එවෙලෙ හැබයි හිනාවකුත් යන්න ආව.. මොකද පොර කියන්නෙ ඇත්ත වුනාට මට මේකෙ අමුතු උත්ප්‍රාසයක් තියෙනව... ඇයි දන්නවද ජොර්දානය කියන්නෙ පොළොවෙ ගලන මෙලෝ වතුරක් නැති රටක් ).

ඒ ගමන මම ඇහුව මොකද ඒ රස්සාවෙන් අයින් වුණේ කියල, පොර කියනව "මම එතන ආයතනික ප්‍රතිපත්ති වලට කැමති වුනෙ නෑ" (I didn't like the company policies over there ) කියල.... පස්සෙ company policies ගැන කතාව ඇදිල ගියා.. මමත් අපේ company තියෙන වැඩකට නැති policies ගැන කිව්ව... එතකොට තමයි පොර මට මේ කතාව කිවුවෙ... ( පොරට මේක කියල තියෙන්නෙ කලු ඇමරිකානුවෙක් ).

කතාව මේකයි......

ඔන්න ලොකු කූඩුවකට වඳුරො පස් දෙනෙක් දානව...

කූඩුවෙ වහලෙ කෙසෙල් ඇවරියක් එල්ලල තියෙනව.. එතනම ඒකට නගින්න ඉණිමගකුත් තියෙනව....

ටික වෙලාවකින් එක වඳුරෙක් ඉණිමගේ නැගල කෙසෙල් ඇවරිය ගන්න හදනවනෙ... එතකොට්ම අනිත් වඳුරන්ට පට්ට සීතල කරපු තද වතුර පාරක් විදිනව....
අර වඳුර අතනින් අහක් වුණ ගමන්ම වතුර නවත්වනව...
ආයි ටිකකින් තව එකෙක් කෙසෙල් ගෙඩි වලට කිට්ටු කරනව... එතකොටම ආයි ජල ප්‍රහාරෙ දෙනව... වඳුර අයින් වුණ ගමන් නවත්වනව...
ඊළඟ පාර.......
වඳුරෙක් කෙසෙල් ගෙඩි වලට කිට්ටු කරනකොටම අනික් වඳුරො සෙට් එක පැනල ඌව නවත්තනව.... ඇයි දන්නවනෙ ඌ ගියොත් අනික් උන්න්ට ශීත ජල ප්‍රහාරය ෂුවර් කියල...

ඊළඟට.... එක වඳුරෙක් අයින් කරල අලුත් වඳුරෙක් දානව... ඌ මේ ජල කතාවක් මොකුත් දන්නෙ නෑනෙ... ඌ කෙළින්ම කෙසෙල් ඇවරියට කිට්ටු කරනව... එතකොටම කලින් ජල ගුටි කාපු සෙට් එක පැනල මූට නෙළනව අම්බානකට... අනේ ඌ පැත්තකට වෙනව... දැන් තව ජලගුටි කාපු එකෙක් අයින් කරල අලුත් එකෙක් දානව ... ඌටත් අර සන්තෑසියම්යි...
මදිවට..... අර ජල කතා මොකුත් දන්නෙ නැතුව අනිත් උන්ගෙන් ගුටිකාපු වඳුරත් පැනල අලුත් එකාට නෙළනව ඌ කෙසෙල් ඇවරියට කිට්ටු කරපු ගමන්ම...

ඇයි..??....... "මෙතන එහෙමයි වැඩ සිද්ධ වෙන්නෙ !!"

ඔහොම එක එක එකා අයින් කරල, අලුත් උන් එකතු කරල දැන් කූඩුවෙ අර මුලින්ම ජල ප්‍රහාරයට ලක් වෙච්ච එක වඳුරෙක්වත් නෑ...

ඒත්...

කොයි වෙලාවක හරි කොයි වඳුරෙක් හරි අර කෙසෙල් ඇවරිය අල්ලන්න හැදුවොත් අනිත් උන් පැනල බිම දාගෙන නෙළනව...

ඇයි...?........"මෙතන එහෙමයි වැඩ සිද්ධ වෙන්නෙ !!"

ඔය කතාව කියල ටැක්සි ඩ්‍රයිවර් මට කියනව.....

"That is how company policies are made..."

( "ඔන්න ඔහොමයි ආයතනික ප්‍රතිපත්ති කියන ඒව හැදිල තියෙන්නෙ" )
කියල.